Print this page

පොලොන්නරුවේ ගොවියන් වහ බිව්වේ යූඑන්පී ආණ්ඩුව කාලේ

නොවැම්බර් 05, 2014

වැඩියෙන් ම පොලොන්නරුවේ ගොවියන් වහ බිව්වේ යූඑන්පී ආණ්ඩුව කාලේ බවත් අද නුවරඑළියේ ගොවීන්ගේ අර්තාපල් අස්වැන්න රජයෙන් අරන් නියඟයෙන් විපතට පත් ගොවීන්ට බෙදාදීමට රජය කටයුතු කළ බවත් ගොවියා රැක ගැනීමට රජය කටයුතු කළේ ඒ ලෙසින් බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ තෙවැනි දින විවාදයට එක්වෙමිනි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පස්වරුවේ විවාදයට ගැනිණි.

ලංකා ඉතිහාසයේ මොන ම අමාත්‍යංශකවත් විමධ්‍යගත අරමුදල් දුන්න කාලේ වත් අපට වුවමනා දේ කරන්න ලැබුණේ නැහැ. අද ප්‍රතිලාභයා ඉල්ලන දේ දෙන්න නිලධාරියාට පුළුවන්. අද එදා තිබුණ නීතිරීති වෙනස් කරලා. ප්‍රතිලාභියාට අවශ්‍ය දේ දෙන්න ආර්ථික සංවර්ධන අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා. දිවි නැඟුම දෙපාර්තමේන්තුවත් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයත් එක් ව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා තියෙනවා.

සුරතල් මත්ස්‍ය කර්මාන්තය අද සංවර්ධනය කරලා විශාල ආදායමක් රටට ගේනවා. ත්‍රීකුණාමලය හා මුලතිව් වැනි ප්‍රදේශවලටත් රබර් වගාව හඳුන්වා දෙමින් නව කුඩා රබර් වතු හිමියන් ඇති කරන්න කටයුතු කරලා. ගම්පහ දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් ඇති කරන්න පටන් අරන්. ඩග්ලස් දේවානන්දා ඇමතිවරයාගේ අමාත්‍යංශය හරහා පන් කර්මාන්තය, කිතුල් කර්මාන්තය වැනි සාම්ප්‍රදායික කර්මාන්ත නංවා තියෙනවා. අපි ඒ සඳහා දිවි නැඟුම බැංකුව හරහා ඒ අයට රුපියල් 50000ක ණයක් සියයට 4 පොලියට වසරකින් ගෙවන්න ලබා දීලා තියෙනවා.

අද ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ කතා කළ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියන්න දෙයක් තිබුණේ නැහැ. අද අපේ සංචාරක කර්මාන්තය තුළ ලංකාවට නව ක්‍රම හඳුන්වා දී තිබෙනවා. ජනතාවට සරිලන විදිහේ දේවල් සපුරලා තියෙනවා. දුප්පත් ජනතාව ඉල්ලන දේ සපයන අමාත්‍යංශයක් බවට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පත් වෙලා තියෙනවා. අපට ගමට ගිහින් මහජනතාවට ගැළපෙන විදිහට කටයුතු කරන්න අවස්ථාව අද සලසා දී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

 

NDH/HC