ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මහතාගේගේ වෙසක් දින පණිවිඩය

    අප්‍රේල් 29, 2018

    සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුදුවීම සහ පිරිනිවන් පෑම සිහිපත් කරන වෙසක් මහා මංගල්‍යය මෙවරත් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව අප සමරන්නේ දැඩි ශ්‍රද්ධාවෙන් හා භක්තියෙන් යුක්තවය.


    සෑම බෞද්ධයකුම වෙසක් උත්සවය සමරනු ලබන අතරම අන්‍ය ආගමිකයෝ ද තම තමන්ගේ ආගම්වල ඇති උත්සව අවස්ථාවන් සමරනු ලබන්නේ මහත් භක්තියෙනි. වෙසක් මහා මංගල්‍යය ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උතුම්ම පුණ්‍ය මහෝත්සවයයි.

    නිර්මල ථෙරවාදී බුදු දහම දිවි හිමියෙන් රැකගත් අපගේ හදවත් මේ වෙසක් සමයේ නිරාමිස ප්‍රීතියෙන් පිරී යන්නේ ජීවමාන බුදුන් වහන්සේ වැඩ සිටිතියි යන උතුම් හැඟීමත් සමඟය.

    සම්බුද්ධ දේශනාව ලොවට ඇති මහා ශාන්තියයි. ක්‍රෝධය හා වෛරය දුකට හේතු වන්නක් බවත් කරුණාව සහ මෛත්‍රීය සැනසීමේ මග බවත් සම්බුදු දහම ලොවට පසක් කර තිබේ. ජාති, ආගම්, කුල ගොත් ආදී වූ සියලු බෙදීම් අර්ථ ශුන්‍ය යැයිද උස් පහත් බව මිනිය හැකි වන්නේ පුද්ගලයාගේ සරු නිසරු පිළිවෙතින්ම බවද සම්බුද්ධ දේශනාවය. තථාගතයන්වහන්සේ දෙසූ දහමට අනුව පිළිවෙත් සරු කරගත් අප අදත් සදාචාරවත් රටක් ජාතියක් ලෙස ලෝකයා හමුවේ අභිසෙස් ලබන්නේය. එබැවින් ඉදිරි අනාගතයේ දී ද අන්‍යයන් කෙරෙහි වූ ස්වාධීනත්වයත් ගෞරවයත් රාජ්‍ය ප්‍රතිපත්තියේදී දැඩිව ආරක්ෂා කිරීම රජයේ ද අරමුණ වී තිබේ.

    මේ උතුම් වෙසක් මංගල්‍යයේ දී අපගේ පැතුම වන්නේ සාමය හා සහජීවනයයි. මෙය පාදක කරගනිමින් දිවයිනේ සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල කේන්ද්‍රකරගනිමින් වෙසක් උත්සවය සැමරීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයතු සංවිධානය කර ඇත. එම කාර්යයට දායක වන දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු සියළුම රාජ්‍ය නිලධාරීන්ටත් මා ස්තූතිවන්ත වන අතර රටවැසි සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.

    වජිර අබේවර්ධන
    ස්වදේශ කටයුතු අමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya