පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    දිළිඳු ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ සියලු වැඩසටහන් සඳහා සමෘද්ධි නිලධාරීන්ගේ සහය ලබා ගැනේ

    ජනවාරි 22, 2021

    අමාත්‍යාංශ තනි තනිව සිය වගකීම් ඉටු කිරීමේ ක්‍රමවේදය බැහැර කරමින් සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමේ යුගය ආරම්භ කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. එබැවින් දිළිඳු බව තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක රජයේ වැඩසටහන්වල දී සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වෙත සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.


    සේමසිංහ මහතා මේ බව කියා සිටියේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින්. වැඩසටහන ඊයේ (21) සහ අද (22) අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. 2021 වසර සඳහා අයවැය මගින් වෙන් කෙරුණු ප්‍රතිපාදන ඵලදායී ආකාරයෙන් යොදා ගැනීම සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කෙරිණි.
    උත්සව අවස්ථාව ඇමතූ රාජ්‍ය අමාත්‍යවරයා. -
    “සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ නිලධාරීන් පැත්තකට කරල තිබුණ යුගයක් අපි නිමා කළා. ගෙවුණු අවුරුදු පහක කාලයේ අහිමි වුණ ඔවුන් පිළිබඳ සමාජයේ තිබුණ ඉල්ලුම, විශ්වාසය, ගෞරවය නැවත ලබා දෙන්න අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ මග පෙන්වීම යටතේ අපට හැකි වෙයි කියල අපේක්ෂා කරනවා.”
    අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ අනුව සැමට විදුලිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් පවතී. සෑම නිවසකට ම විදුලිය ලබා දීම ව්‍යාපෘතියේ අපේක්ෂාවයි. විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී අවධානයට ලක් වූ කරුණු සැලකිල්ලට ගනිමින් එම ව්‍යාපෘතිය සඳහා සමෘද්ධි නිලධාරීන්ගේ දායකත්වය පිළිබඳව ද අමාත්‍යවරයා එහි දී අදහස් පළ කළේ ය.

    “රජයේ අපේක්ෂාව සෑම නිවසකට ම විදුලිය ලබා දීම. නිවසකට විදුලිය ලබා ගැනීමේ දී විවිධ ගැටලු තියෙන්න පුළුවන්. එම නිවස තියෙන ප්‍රදේශයට විදුලිබල සැපයුම නැති වෙන්න පුළුවන්. සැපයුම තිබුණත් නිවසේ විදුලි පරිපථ සකස් කර ගන්න ආර්ථික තත්ත්වයක් ඒ ජනතාවට නැති වෙන්න පුළුවන්. ඒ වගේ ම විදුලිය සැපයුම ලබා ගන්න අවශ්‍ය මූල්‍ය ශක්තිය ඔවුන්ට නැති වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණාවෙ දී ගමේ ජනතාව සමග සමීපව කටයුතු කරන පිරිසක් විදියට සමෘද්ධි නිලධාරීන්ගේ සහය ලබා ගැනීමට රජය සූදානම්.

    පවුල්වල ආදායම් මට්ටම් ඉහළ නැංවීම සඳහා වන රජයේ වැඩපිළිවෙළ සඳහා සමෘද්ධි අමාත්‍යාංශය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක වන වැඩසටහනක් දැන් ක්‍රියාත්මක වෙන්නෙ. ඉස්සර වගේ අමාත්‍යාංශ තනි තනිව කටයුතු කරපු යුගය වෙනුවට ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම දැන් ආරම්භ කරල තියෙනවා.

    අතිගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ අපේක්ෂාව අනුව දිළිඳු බවින් තොර සමාජයක් බිහි කිරීමේ දී රජය ගන්න සෑම පියවර දී ම සමෘද්ධි නිලධාරීන් වන ඔබේ සහය ලබා ගැනීම රජයේ අපේක්ෂාව ” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.
    සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්ධුල තිලකසිරි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya