වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා එවකට කම්කරු අමාත්‍යවරයා ව සිටිය දී 1996 දු අරඹන ලද ශ්‍රම වාසනා ලොතරැයියේ අදායමෙන් පිහිටුවන ලද වර්තමානයේ මුදල් අමාත්‍යංශය යටතේ පවත්නා ශ්‍රම වාසනා අරමුදල මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කරයි.
පවුලේ ප්‍රධාන අදායම් උපයන්නා හෝ රැකවල්කරු අහිමි වූ අබාධිත වී ජිවනෝපාය අහිමි වූ පවුල් වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිරිගැන්වීම මෙම ශිෂ්‍යාධාර වැඩසටහනේ අරමුණ වේ.
ඒ අනුව, එම දරුවන්ට 2020 වසරේ ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර ප්‍රදානය කිරීම හෙට (ජනවාරි 26 වන දා) පෙරවරු 11.00ට නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී කම්කරු අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.
2000 ආරම්භ කළ ශ්‍රම වාසනා ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර වැඩසටහන මෙවර පවත්වන්නේ 21 වන වරටයි. මේ වන විට දරුදැරියන් 2000 ක ට ආසන්න පිරිසකට ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර ලබා දී ඇති අතර, මෙවර දරුදැරියන් 100 කට ආසන්න පිරිසකට මෙම ශිෂ්‍යත්ව හා ආධාර ලබා දීම සිදු කෙරේ. මේ යටතේ පෙරපසලේ සිට උසස් අධ්‍යාපනය ලබන දරුවන් දක්වා දරුවන් 100 කට ආසන්න ප්‍රමාණයකට මෙම ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර ලබා දීම සිදු කෙරේ.
පවතින COVID -19 වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම ශිෂ්‍යත්වලාභී දරුවන් කොළඹට ගෙන්වීම සීමා කිරීමට තමන් උපදෙස් දී ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා ඇති බවත්, එහෙත් ප්‍රාදේශීය කම්කරු කාර්යයාල වලට එම දරුවන් කැඳවා එම දරුවන්ට මෙම අවස්ථාවට සමගාමිව ලබා දීමට නියමිත ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර ලබා දීමට කටයුතු යොදා ඇති බවත්, කම්කරු අමාත්‍යංශය පවසා සිටී. කොළඹ, රත්නපුර, මාතර, හම්බන්තොට, මහනුවර, ගම්පහ, මොණරාගල, කෑගල්ල, ගාල්ල, අනුරාධපුර, පුත්තලම, කළුතර, අම්පාර, සහ යාපනය යන දිස්ත්‍රික්ක වල දරු දැරියන්ට මෙම ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර ලබා දීමට නියමිත වන අතර මෙම එක් දරුවෙක්ට රුපියල් පනස්දහසක (50,000) ස්ථිර තැන්පතුවක් ද, රුපියල් දසදහසක (10,000) පාසල් උපකරණ ද, රුපියල් දෙදහසක (2,000) පාවහන් ලබා ගැනීමේ වවුචර පත් ද හිමි වනු ඇත. දරුවන්ගේ භාර කරුවන්ට මාස තුනකට වරක් මෙම ස්ථිර තන්පතුවේ පොළිය ලබා ගත හැකි වේ.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ, ශ්‍රම වාසනා අරමුදලේ සභාපති ජූඩ් නිලුක්ශාන්, එහි සාමාන්‍යධිකාරී ඩි.ආර්. ජයලත්, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති යන මහත්වරුන් මෙම අවස්ථාවට එක් වීමට නියමිතයි.