අමාත්‍යවරිය මේබව සදහන් කළේ, බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි වැඩිහිටි මහලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.
තම ලෙය, කඳුළ, දාඩිය, ශ්‍රමය, මුදල් හා ජවය කැපකර අපේ පරම්පරාව සකස් කළ වැඩිහිටියන්ට අවශ්‍ය ආදරය, රැකවරණය, ආරක්ෂාව, පෝෂණය, සුබසාධනය ලබාදීම මෙන්ම කොන්කර දැමීම නොසලකා හැරීම වැනි පීඩාවන්ගෙන් ඔවුන්ව මුදාගත යුතු අතර වැඩිහිටියන්ට අවශ්‍යව ඇත්තේ ආහාර, බෙහෙත්, ඇඳුම් රැකවරණයට වඩා තම පවුලේ ආදරය බව අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සදහන් කරන ලදි.
වැඩිහිටි තැනැත්තන් රැකබලා ගන්නා පෞද්ගලික ආයතන ගණනාවක් රටතුළ පවතින බවත් ඇතැම් එ්වායේ ගුණාත්මකභාවය පිළිබද සතුටුවිය නොහැකි බවත් සදහන් කළ රාජ්‍ය අමාත්‍යවරිය එම ආයතන නියාමනයකට ලක්කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වාදෙන ලදි. වැඩිහිටි පනතේ යම් යම් සංශෝධන සිදුකල යුතු බව සදහන් කළ අමාත්‍යවරිය වැඩිහිටි කමිටු සක්‍රිය කිරීම, සුව සහන වැඩිහිටි රෝගාධාර ක්‍රමය කඩිනම් කිරීම මෙන්ම වැඩිහිටි හැදුනුම්පත් ලබාදීම, වැඩිහිටි ආධාර ලබාදීම කඩිනම් කිරීම ආදී කරුණු පිළිබදව මෙහිදී සාකච්ඡා කරන ලදි.
වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් ලංකාව පුරා වැඩිහිටි කමිටු 11935ක් පිහිටුවා ඇති අතර ආයතනය යටතේ සෘජුවම පාලනය වන වැඩිහිටි නිවාස ගණන 02කි.
මෙම සාකච්ඡාව සදහා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (වැ.බ) චන්දන රණවීර ආරච්චි යන මහත්වරු ඇතුලු වැඩිහිටි මහලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගී වූහ.