ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කළ එන්නත් තොගය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,සිය නිල ට්විටර් පිටුව ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහ ඉන්දීය ජනතාවට සිය ස්තූතිය ප්‍රකාශ කර තිබේ.
එයර් ඉන්දියා විශේෂ ගුවන් යානයකින් අදාළ එන්නත් ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදුන් බව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ කොවිඩ් එන්නත ලබාගැනීම සදහා වන
කාර්යයසාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ ය.
එන්නත් ලක්ෂ 05ක් අද දින ශ්‍රී ලංකාව වෙත ලැබෙන බවද කොවිඩ් 19 වසංගතයට එරෙහිව එන්නතක් පිළිබදව අප රටේ ජනතාව දැඩි උනන්දුවකින් පසුවූ බවද, පසුගිය වකවානුවේ සිට මේ දක්වා කොවිඩ් හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය මෙන්ම ළමයින්ගේ අධ්‍යාපන කටයුතු වලට පවා බාධා මතුවූ ආකාරයද සිහිපත් කළ ලලිත් වීරතුංග මහතා, මෙම එන්නත ලබාගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පසුගිය දින 30ක කාලය පුරා රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව විශාල වැදගත් කර්තව්‍යයක් දියත් කළ බව ද ලලිත් වීරතුංග මහතා සඳහන් කර සිටියේ ය.
එමෙන් ම මෙම එන්නත සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එය හදිසි ප්‍රතිකාරයක් වශයෙන් භාවිතා කිරීම සදහා අප රටෙහි ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන්ද අනුමැතිය හිමිවී ඇති බවද ලලිත් වීරතුංග මහතා කියා සිටියේය.
කටුනායක ගුවන්තොටුපලේ දී අදාළ එන්නත් තොගය ඉන්දීය රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay ) මහතා විසින් නිලවශයෙන් ජනාධිපතිවරයා වෙත භාරදුන් අතර මේ ආවස්ථාවට අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මහාචාර්ය චන්න ජයසුමන ,ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීන් සහභාගී විය .