අමාත්‍යවරයා මේ බව පැවසූයේ, බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ අද (01) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“පසුගිය සතිය තුළ දිවයින පුරා පාසල්වලට පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රතිශතය 67%ක් සහ ගුරුවරුන්ගේ පැමිණීම 88%ක් දක්වා වර්ධනය වී තිබෙනවා. බස්නාහිර පළාත හැරෙන්නට දිවයිනේ අන් සියලු පළාත්වල පාසල්වල කටයුතු යථා තත්ත්වයට පත් වී තිබෙනවා. බස්නාහිර දැනට විවෘත කර තිබෙන්නේ සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පමණයි. ඊට හේතුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ 01වන දින සිට 11වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබීමයි. අපේ උත්සාහය තමයි හැකිතාක් ඉක්මනට බස්නාහිර පළාතේ පාසල්වල අනිත් ශ්‍රේණි ආරම්භ කිරීම. දැඩි සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුකූලව එය කළ යුතු යි. හැකි ඉක්මනින් පාසල් විවෘත කරන ලෙසට දෙමාපියන්ගේ මෙන් ම දරුවන්ගේ ද දැඩි ඉල්ලීමක් තිබෙනවා.”
ඒ අනුව සිසුන් විශාල වශයෙන් සිටින පාසල් සහ අවදානම් සහිත පාසල් කිහිපයක් හැරෙන්නට බස්නාහිර පළාතේ සෙසු පාසල් පෙබරවාරි 15 දින සිට විවෘත කරන්නට කළුතර සහ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්ව තීරණයක් ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය. ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත පාසල් ගණන 590ක් වන අතර එයින් පාසල් 589ක් ම විවෘත කරන්නට එම කමිටුව නිර්දේශ ඉදිරිපත් ව ඇත. එයින් ගම්පහ කලාපයේ පාසල් 154ක් සහ පිරිවෙන් 27ක් තිබෙන අතර ඒ සියල්ල ම විවෘත කිරීමටත්, කැලණි කලාපයේ පාසල් 115ක් තිබෙන අතර ඒ සියල්ල ම විවෘත කිරීමටත්, මීගමු කලාපයේ පාසල් 135න් කුඩා පාසල් 40ක් විවෘත කිරීමටත්, තවත් පාසල් 88ක් දින බෙදා කොටස් වශයෙන් ආරම්භ කිරීමටත් කමිටු නිර්දේශ ඉදිරිපත් වී ඇත. මිනුවන්ගොඩ කලාපයේ පාසල් 159න් 158ක් විවෘත කිරීමට ද නිර්දේශ වී ඇත. එම නිර්දේශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යොමු කර ඔවුන් විසින් ලබාදෙන උපදෙස් සහ නිර්දේශවලට අනුකූල ව පාසල් විවෘත කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසීය. පාසල් ආරම්භ කිරීමේ දී මතුවීමට ඉඩ ඇති ප්‍රවාහන ගැටලුව දලංගම සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරය මඟ එක් වී ‘සිසු සැරිය’ ද ක්‍රියාත්මක කරමින් විසඳීමට කටයුතු කෙරේ.
දිස්ත්‍රික් සංවර්ධන කමිටු නිර්දේශ අනුව, කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත පාසල් ගණන වන 446න් පාසල් 442ක් විවෘත කිරීමෙහි හැකියාව පවතී. අගලවත්ත අධ්‍යාපන කලාපයේ පාසල් 16ක් ඇති අතර ඉන් පහකට විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය වන බව කමිටුව නිර්දේශ කර ඇත. කලුතර කලාපයේ පාසල් 161න් 157ක් විවෘත කිරීමටත්, හොරණ කලාපයේ පාසල් 138ක් සහ පිරිවෙන් 16ක් පවතින අතර ඒ සියලු පාසල් හා පිරිවෙන් විවෘත කිරීමටත්, කමිටු නිර්දේශ ලැබී ඇත.
ඇතැම් පාසල්වල විශාලත්වය අනුව, ඒ ඒ විදුහල්පතිවරුන් ප්‍රමුඛ කමිටුවකට පන්ති දෙකට බෙදා සතියේ දින පහ ඇතුළත පාසල් ආරම්භ කිරීමට නිර්දේශ ලබා දී තිබේ.
කෙසේ වෙතත් පෙබරවාරි 15 වන දින පාසල් විවෘත කිරීමට නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලැබිය යුතු බව ද, මේ නිර්දේශ ඉදිරිපත් කර තිබෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිසකගේ අධීක්ෂණයකින් අනතුරුව බව ද අමාත්‍යවරයා පැවසීය.
කොළඹ දිස්ත්‍රික්කයේ කමිටු රැස්වීම මේ සතිය තුළ පැවැත්වීමට නියමිත අතර, එහි තත්ත්වය ඉදිරි සතියේ දී ප්‍රකාශයට පත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ සාගර කාරියවසම් මහතා ද එක් විය.