බටහිර විදේශ ආක්‍රමණ විසින් මෙරට වසර හාරසීය පනහක් පමණ යටත් විජිතයක් බවට පත් කොට ශ්‍රී ලාංකිකයන් සමාජ ආර්ථික හා දේශපාලන වශයෙන් පීඩාවට පත් කිරීමට එරෙහිව ලෝකයේ ශ්‍රේෂ්ඨ හා පෞඪ ජාතියක් ලෙස ජාතික විමුක්ති අරගල රැසක් මෙහෙයවමින් නිදහස, ස්වාධීනත්වය හා ස්වෛරීත්වය උදෙසා අපේ අතීත ජාතික විරුවන් හා රණවිරුවන් කටයුතු කර ඇති ආකාරය අභිමානයෙන් සමරමු. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතීන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස් කර ගැනීමේ දී සියලු භේද වලින් තොරව ශ්‍රී ලාංකිකයින් ලෙස එකමුතුව කටයුතු කර අපේ මාතෘ භූමිය නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඔවුන් තුළ තිබූ කැපවීම හා අධිෂ්ඨානය අප සිහිපත් කරන්නේ ගෞරවයෙනි. එසේ 1948 පෙබරවාරි 04 වන දා ලබා ගත් නිදහසේ හැත්තෑතුන් වන සංවත්සරය අද දින සමරනු ලබන්නේ මහත් වූ අභිමානයෙනි.
1948 පෙබරවාරි 04 වන දා අප දිනා ගත් නිදහස 1972 මැයි 22 දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට ප්‍රකාශ කිරීමෙන් බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන්ම ගැළවීමට අපට හැකි විය.
ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යතාර්ථයක් බවට පත්කර ගෙන නිදහස්, ස්වාධීන, ස්වෛරී, සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අප සියලු දෙනා අද දිනයේ ද සපථ කරන්නේ හැත්තෑතුන් වසරක විවිධ අභියෝග ජයගනිමින් බව ද සිහිතබා ගනිමු.
මෙරටේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාවයට එරෙහිව ජාතික හා ජාත්‍යන්තරව ගොඩ නැඟුණු අභියෝග ද අප සිහියේ තබා ගත යුතුය. වසර 30 ක් පුරාවට පැවැති බෙදුම්වාදී මිලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කර ලෝකයේ රටවල් සමඟ මිත්‍ර සබඳතා පවත්වාගෙන ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් දේශයක් කරන්නට අධිෂ්ඨානශීලී ගමනක යෙදී සිටිමු. ඒ අතර අද අප හා ලොව අනපේක්ෂිත ලෝක වසංගතයකට මුහුණ දී සිටින්නෙමු. ලෝකයම ගොදුරු කර ගෙන සිටින කොවිඩ්. 19 වසංගතයෙන් ද අපට ජයගත හැකිය. ලෝකයේ දියුණු තාක්ෂණය හා දේශීය පාරම්පාරික අත්දැකීම් පාදක කර ගනිමින් මෙම වසංගතය පරාජය කරන්නට රජය ගෙන යන වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමට සහය දීම අප සියලු දෙනා ගේ වගකීමකි.
අප දිනාගෙන ඇති නිදහස අඛණ්ඩව ස්වාධීන ස්වෛරී ප්‍රජාතන්ත්‍රවාදී ඒකීය රාජ්‍යයක් ලෙස මධ්‍යස්ථ හා නොබැඳුනු විදේශ ප්‍රතිපත්තියට මුල් තැන දෙමින් සියලු රාජ්‍යයන් සමඟ මිත්‍රත්වයෙන් සහයෝගීතාව පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ගෞරවය හා අභිමානය අනන්‍යතාවය රැකගෙන අපි ඉදිරියටම යමු.
දිනේෂ් ගුණවර්ධන
විදේශ අමාත්