"අපි එදා තරුණ තරුණියන් වශයෙන් අතිශය භීෂණ යුගයක් පසුකළා. එදා පැවති මිනිස් දඩයමට ජනතාව මර බියෙන් පසුවුණේ. මාස ගණනක් පාසල් වසා දැමුවා. දිනපතාම නිල්වලා ගගේ මිනී පාවුණා. උතුර දකුණ වෙනසක් නැතිව භීෂණයෙන් වෙලී තිබුණා. සමස්ත රටම ත්‍රස්ත බියෙන් වෙලිලා තිබුණා. නමුත් අද තරුණ පිරිස් ඒ අභියෝගයන්ගෙන්, භීෂණයෙන් මිදිලා. අපි ඒ ගමන්මගේ සුවිශේෂී සංධිස්ථානයකට අද පැමිණිලා සිටින්නේ අපේ රාජ්‍ය නායකතුමන්ගේ දූරදර්ශී නායකත්වය මත. රටේ අනාගතය වෙනුවෙන් එතුමා සුවිශේෂී තීන්දු තීරණ රාශියකට එළඹිලා සිටිනවා. එතුමා ප්‍රශ්න දකින, ඒවා ගැන සිතන, විසදුම් සොයන, විසදුම් ලබාගන්නා සහ සන්නිවේදනය කරනා ආකාරය අනෙක් රාජ්‍ය නායකයන්ට වඩා වෙනස්. ඒ වෙන්සකම අපි තේරුමගත යුතුයි. ජනප්‍රිය මතය තමයි දේශපාලනාධිකාරිය සිටිය යුත්තේ ප්‍රශ්න වලට විසදුම් දීමට යන්නයි. නමුත් දේශපාලඥයො සිටිය යුත්තේ ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න නොවෙයි. ඒ වෙනුවෙන් තමයි නිලධාරීන් සහ ආයතන තිබෙන්නේ. දේශපාලඥයාගේ වගකීම මෙන්ම යුතුකම වියයුත්තේ, ප්‍රශ්න ඇති කරන හේතු නැති කිරීමයි. එයයි ජනාධිපතිතුමාගේ නවමු සංකල්පය" යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ, පසුගිය දින පැවති කඹුරුපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තරුණ බලමණ්ඩල රැස්වීමට සහභාගි වෙමිනි.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ...,
"අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාරව, විදුලිබල අමාත්‍යාංශය හැටියට අපට ලබාදීලා තිබෙන ඉලක්කය තමයි විදුලි උත්පාදනය වෙනුවෙන් පුනර්ජනනීය ප්‍රභවයන් යොදා ගැනීම. එතුමා කිව්වේ විදුලි උත්පාදනය වෙනුවෙන් ඩීසල් වලට වඩා ජලය, හිරු, සුළං මෙන්ම කසල වැනි ප්‍රභවයන් ගැන විශ්වාසය තබන්න කියලයි. දැනට විදුලි ජනනයෙන් 35% ක් පමණ නිපදවන්නේ ඩීසල් මගින්. පොසිල ඉන්ධන අපට නිකන් ලැබෙන්නේ නැහැ. වසරකට පොසිල ඉන්ධන ආනයනය වෙනුවෙන් පමණක් බිලියන 400 කට ආසන්න මුදලක් වැය කරනවා. සමස්ත රජයේ සේවකයන් වෙනුවෙන් මසක වැටුප් සදහා වැය වන්නේ බිලියන 72 ක් වැනි මුදලක්. ඒ කියන්නේ වසරකට බිලියන 864ක්. රජයේ සේවයේ වසරක වැටුප් වෙනුවෙන් වැයකරන මුදලින් අඩකට ආසන්න ප්‍රමාණයක් වසරක විදුලිය නිපදවීම වෙනුවෙන් ආනයනික පොසිල ඉන්ධන වලට වැය කරනවා. අපි මේ නාස්තිකාර වියදම නවතා දැමිය යුතුයි" යැයි පැවසීය.
පක්ෂයට වසර 4 ක්, ජනාධිපති ධූරයට මාස 14 ක්, පාර්ලිමේන්තුවට මාස 06 ක් සම්පූර්ණ වී ඇති අද දවසේ කොරෝනා නම් වූ විශ්වීය මාරයාට මාස 11 ක් සම්පූර්ණ වී ඇති බව පැවසූ විදුලිබල අමාත්‍යවරයා, වඩාත් බලසම්පන්නවූ මේ ව්‍යසනය හමුවේ ලොව බලවත් රටවල් විශාල වශයෙන් අසරණ වී සිටින බවත්, අතිගරු ජනාධිපතිතුමාගේ දූරදර්ශී ක්‍රියාමාර්ගයන් හමුවේ අනතුර අවම රටක් බවට ශ්‍රී ලංකාව පත්වී ඇති බවත් පැවසීය.
මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, දකුණු පළාත් හිටපු අමාත්‍ය බින්දු වීරසිංහ, ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණු බටහිර කොළඹ ආසන සංවිධායක මිලින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයන් මෙන්ම පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගී වූහ.