විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් සති අන්තයේ දී ගැටඹේ නා හිමියන් බැහැ දැකිමට ගිය අවස්ථාවේ දී උන්වහන්සේ මේ බව සඳහන් කළහ. “ඔබතුමාගේ පියා ඇතුළු අතීත සටන්කාමී විරුවන් අපේ රට සුද්දන්ගෙන් බේරා ගත් ආකාරය ඔබතුමාට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ අය බේරා ගත්තු රට නැවත වෙනත් උපක්‍රම මඟින් පාලනය කරන්න ජාත්‍යන්තරයේ ඇතැම් අය උත්සහ කරනවා. ඒවා පරාජය කර රටේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාව රැක ගන්න ඔබ තුමාට ශක්තිය තිබෙනවා. හැට නව ලක්ෂයක් ජනතාව ඡන්දය දී පත්කර ගත් ජනාධිපති හා ආණ්ඩුව ජාත්‍යන්තර ඕනෑ එපාකම්වලට නතු නොවී ස්වාධීනව කෙළින් වැඩ කරයි කියලා ජනතාව බලාගෙන ඉන්නවා. ඒක කරන්න අසමත් වුණොත් මේ ආණ්ඩුවත් ජනතාව ප්‍රතික්ෂේප කරන්න පුළුවන් බව ද නාහිමියෝ කීහ.
මෙහි දී අදහස් දැක් වූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් වැඩ කරන්න යහපාලන ආණ්ඩුව කැමති වෙලා තමයි 30/1 යෝජනාවට එකඟ වෙලා තිබුණෙත්. නමුත් අපේ රට තුළ අපිට කටයුතු කරන්න පුළුවන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පමණයි. මේ නිසා අපි ජිනීවා මානව හිමිකම් සමුළුව ඒ ගැන දැනුවත් කරලා 30/1 යෝජනාවෙන් ඉවත් වුණා. ඒක නිසා කලබලයට පත් අපේම රටේ ඇතැම් පිරිස් බලලෝභයෙන් රට පාවා දීලා විදේශයන්ට කේලාම් කියනවා.
මේ නිසා 30/1 යෝජනාවේ අන්තර්ගත කරුණු වෙනත් ආකාරයකින් නැවත ඉස්මතු කරලා අපේ රට අපහසුතාවට පත් කරන්න උත්සහ කරනවා. දැනටමත් අපි රජයක් විදියට මානව හිමිකම් සමුළුවේ ඇති අපේ රටට එරෙහි චෝදනා ප්‍රතික්ෂ්ප කරලා තිබෙනවා. අපි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන බව මානව හිමිකම් කොමිසමට කීවා. ඒ අනුව දැනටමත් ජනාධිපතිවරයා මානව හිමිකම් කඩ කිරීම පිළිබඳව ඇති චෝදනා විමර්ශනයට ජනාධිපති කොමිසමක් කරලා තිබෙනවා. අපි ජාත්‍යන්තරයේ සහයෝගය ඇතිව ප්‍රජාතන්ත්‍රවාදීව ස්වාධීන රටක් විදියට කටයුතු කරන්න සූදානම්.
අනවශ්‍ය ලෙස අපේ නිදහසට ස්වාධීනත්වයට බාධා වන අයුරින් කාටවත් කටයුතු කරන්න බලයක් නෑ යැයි ද අමාත්‍යවරයා කීවේ ය.
මේ අවස්ථාවට මහනුවර සංවර්ධන සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන යන මහත්වරු ද සහභාගී වූහ.