පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    අගමැති උපදෙසින් තවත් රථගාලක ඉදිකිරීමේ කටයුතු ඉබ්බන්වල දී ඇරඹේ

    පෙබරවාරි 11, 2021

    කොළඹ නගරයේ නිතර පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,   අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ඉදිකෙරෙමින් පවතින රථගාල් දොළහේ ව්‍යාපෘතියේ තුන්වන රථගාල යූනියන් පෙදෙසේ ඉබ්බන්වල හන්දියේ දී ඉදිකිරීමේ කටයුතු (10) දින ආරම්භ කෙරිණ.

     

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට රථවාහන තදබදයට පිළියම් යෙදීමට ඉදිරිපත් කර ඇති යෝජනාවලට අනුව කොළඹ නගරයේ මෙන් ම දිවයින පුරා රථවාහන තදබදය පවතින ප්‍රධාන නගරවල නව රථගාල් ඉදිකිරීමට නියමිතයි.

    මෙම රථගාල ඉදිකිරීමේ අවස්ථාව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

     

    යෝජිත රථගාල් 12 න් කොළඹ කොටුව සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල රථගාල් දෙකක ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඉබ්බන්වල හන්දියේ දී ඉදිකෙරෙන්නේ තුන්වැනි රථගාලයි. එකවර රථවාහන 310 ක් නවතා තැබිය හැකි ඉබ්බන්වල හන්දියේ ඉදිකෙරෙන මෙම රථගාලේ, වාහන නවතා තැබීමත් සමඟ ම දැනට එම ප්‍රදේශයේ පවතින වාහන තදබදය අවම වේ. මේ අනුව මරදාන පාර, ටී.බී. ජයා මාවත, ධර්මපාල මාවත, යූනියන් පෙදෙස, කිංසි පාර ඇතුළු සෙසු මාර්ගවල පවතින වාහන තදබදයට මෙමඟින් පිළියම් යෙදේ. මේ හේතුව මත කොළඹ මහ රෝහල් පරිශ්‍රය අවට ද වාහන තදබදයට විසඳුම් හිමිවේ. ඉබ්බන්වල හංදියේ ඉදිකෙරෙන රථගාල සඳහා මහල් 10 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිතයි. නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් අනුව ඉදිවන නව රථගාලේ 80% ක් රථවාහන නැවැත්වීම සඳහා වෙන් කළ යුතුය.

     

    කාර්යාල සංකීර්ණ සහ සාප්පු සංකීර්ණ සඳහා ඉතිරි 20% වෙන්කෙරේ. මෙහි බිම් මහල, පළමු මහල සහ දෙවන මහල කාර්යාල සහ සාප්පු සංකීර්ණ සඳහා වෙන් කෙරේ. තෙවන මහලේ සිට දසවන මහල දක්වා වෙන් කළ යුත්තේ යෝජිත රථ ගාල ඉදි කිරීම සඳහායි. රටේ සංවර්ධනය වේගවත් වීමට නම් පෞද්ගලික අංශය ද සංවර්ධන කටයුතු සිදුකර ගැනීම සඳහා දායක කර ගත යුතු බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම උත්සවයට සහභාගී වෙමින් සඳහන් කළේය. “මේක ආර්ථිකය සක්‍රීය කිරීමේ ව්‍යාපෘතියක්. රටක ආර්ථිකය කඩා වැටුණු විට නැවත ගොඩනැගීමට මෙයින් හැකියාවක් ලැබෙනවා. මේකට අනුගමනය කරන ක්‍රම තුනක් තියෙනවා. බදු අයකිරීම එකක්, දෙවැන්න ණය ගැනීම, තෙවැන්න ආයෝජනය කිරීම.

     

    රජයට බරක් නැතුව ආර්ථිකය ගොඩ නැගිය හැකි හොඳම ක්‍රමය ආයෝජනය. ඒ දේශීය විදේශීය ආයෝජකයන් හරහා. ඉදිරි සති කිහිපය තුළ අපි ඒ වගේ ආයෝජකයන් ගෙන ඒමට කටයුතු කරනවා. අපිට ඉදිරි කාලයේ දී වැඩ ගොඩක් කරන්න සිදු වේවි. එය කළ යුතු දෙයක්. වැඩ ඇද ඇද ඉන්න අපිට කාලයක් නෑ. ඒ වගේ කොන්ත්‍රාත්කරුවන් එක්ක අපිට ගමනක් යන්නත් බෑ. නගරය තුළ රථවාහන තදබදය නිසා ප්‍රශ්නයක් ඇතිවෙලා. ඒකට විසඳුම බහුමහල් රථගාල් ඉදිකිරීම. මේ තුන්වන රථගාල. තවත් රථගාල් නවයක් ඉදිකිරීම අපි අරඹනවා. නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රායෝගිකව අතගහන්නේ. මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න.

     

    ඒ අනුව තමයි නගරය තුළ රථවාහන තදබදය නිසා ඇතිවෙලා තියෙන ප්‍රශ්නයට මේ ඉදිකරන රථගාල් හොඳම විසදුමක් වෙන්නේ. රටක්, රටක ආර්ථිකයක් වැටුණු විට එය ඉදිරියට ගෙනයාමට පුළුවන් වෙන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන්. ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් සංවර්ධනය වේගවත් වෙනවා. රාජ්‍ය අංශයට පෞද්ගලික අංශයත් එකතු වුණාම, සහයෝගය ලැබුණාම සංවර්ධනය තවත් වේගවත් වෙනවා. ඒ නිසා රථගාල්, නිවාස ඉදිකිරීම්වලට අපි පුද්ගලික අංශයත් සම්බන්ධ කළා. අපි රටේ ජනතාවට බරක් නොවී, අනාගත පරපුරට බරක් නොවී, රට සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා ආයෝජකයන් එක්කළ විට දුර්මත ඇතිවෙනවා. පසුගිය කාලයට ආයෝජනය ගැන දුර්මත බහුලව තිබුණු කාලයක්. රජයක් ණය ගන්න ඕනේ දරන්න පුළුවන් ප්‍රමාණයකට. ආපහු ගෙවන්න පුළුවන් ප්‍රමාණයකට. එහෙම ණය ගන්නවානම් එය වරදක් නෙවෙයි. වරදක් වෙන්නේ දැරිය නොහැකි තරමට ණය ගැනීමයි. දැරිය නොහැකි තරමට ණය ගන්න හොඳ නෑ. හොඳම විසඳුම විදෙස් ආයෝජනයයි. මේ තියෙන දේශපාලන ගැටළුව වර්තමානයේ ආ එකක් නෙමෙයි. මේක කාලයක් තිස්සේ ආ එකක්. අපි ඒ ගැටළුව විසඳනවා.” යනුවෙන් ද නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ ය.

     

    කොළඹ නගරයේ නාගරික සංවර්ධන අධිකාරිය කරන වැඩක් ක්‍රියාත්මක වීම ඇරඹුණේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ වත්මන් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

    “කොළඹ නගරයට දිනකට මිලියන දෙකහමාරක ජනතාවක් ඇදී එනවා. ඒ එන පොදු ජනතාවට පොදු පහසුකම් කිසිවක් තිබුණේ නෑ. ශරීර කෘත්‍යයට පවා පහසුකම් තිබුණේ නෑ. මේ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ අරමුණු යම් නිශ්චිත කාලයක් තුළ සපුරා ගැනීමේ පියවරේ තවත් ඉදිරි පියවරක් තමයි මේ” යනුවෙන් ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේ මේක කැබිනට් අනුමැතිය ලත් ව්‍යාපෘතියක් බව සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වය ලබා ගනිමින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් යනුවෙන් ද සඳහන් කළේය. “නාගරික සංවර්ධන අධිකාරියට තියෙන්නේ අරමුණු තුනයි. ඒ මේ ව්‍යාපෘති කවදා ද පටන් ගන්නෙ, කවද ද ඉවර කරන්නේ, කවදාද බාර දෙන්නේ කියන අරමුණු තුනයි. නාගරික සංවර්ධන අධිකාරියට අවශ්‍ය ඉක්මනින් පොදු මහජනතාවට මේ ව්‍යාපෘතිවල අයිතිය හා පහසුකම ලබා දෙන්න. ඉදිකිරීමට නියමිත රථගාල් අවම මාර්තු 31 ට පෙර නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය දින අපි අමාත්‍යාංශයේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මේ ටික කාලයට අපි කරපු සංවර්ධන වැඩ අගමැතිතුමා සෑහිමට පත්වුණා.” යනුවෙන් ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළේ ඇක්සස් ටවර් රථගාල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව හිමිකරගත් ඇක්සස් ඉංජිනියරින් පුද්ගලික සමාගමට රුපියල් බිලියන 20 ක් ඉක්මවූ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බවයි. “මේක වෙනස් ම ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට රජයේ ප්‍රතිපාදන හිමිවෙන්නේ නෑ. ඇක්සස් සමාගමේ අරමුදලින් තමයි මේ ඉදිකිරීම කරන්නේ. මේ ව්‍යාපෘතිය සිදු කරන ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක්. යම් කාලයක් පවත්වාගෙන යාමෙන් පසු සියළු අයිතින් නාගරික සංවර්ධන අධිකාරියට හිමි වෙනවා. නගරයේ ඇතිව තිබෙන රථවාහන අර්බුදය විසඳන්න ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් මතයි මෙය ඉදිකෙරෙන්නේ. මේක තමයි නාගරික සංවර්ධන අධිකාරිය වැඩ කරන කලාව. මේක තමයි අපේ ක්‍රමය. මේ කලාව අපිට කියලා දුන්නේ වත්මන් ජනාධිපතිතුමා ඒ කාලයේ ආරක්ෂක ලේකම් වෙලා හිටිය කාලේ. මේ කලාවට අනුව වැඩ කෙරෙන්නේ ඉතාමත් විනිවිදභාවයකින්. ඒ වගේම තදබල විශ්වාසයකින්. මේ ඉදිකිරීම් වැඩවලට නාගරික සංවර්ධන අධිකාරියට පූර්ණ නිදහස දීලා තියෙනවා. ඒ යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වැඩ කරගෙන ඉදිරියට යනවා. සංවර්ධන කටයුතු සිදු කිරිමේ දී නාගරික සංවර්ධන අධිකාරිය තමයි ඉදිරියෙන් ම ඉන්නේ. අපි බය නෑ වැඩ කරන්න. අපි ප්‍රතිපත්ති මත පිහිටලා තමයි වැඩ කරන්නේ. රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් වියදම් නොකර පුද්ගලික අංශයේ ආයෝජකයන් මඟින් කරන මේ ඉදිකිරීම්වල අරමුණු තුනක් තියෙනවා. පළවෙනි එක පොදු ජනතා යහපත සඳහා පොදු ව්‍යාපෘති ක්‍රියාත්මක කර නිම කිරීම. දෙක නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදල් තර කිරීම, තුන පෞද්ගලික අංශය රටේ සංවර්ධනයට හවුල් කර ගැනීම” යනුවෙන් ද නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේය.

     

    ඉබ්බන්වල හන්දියේ ඉදිකෙරෙන මෙම රථගාල ඉදිකිරීම සඳහා වැය වන මුළු මුදල රුපියල් මිලියන 605 කි. මෙම රථගාල සඳහා වෙන්කර ඇත්තේ ඉබ්බන්වල හන්දියේ පිහිටා තිබෙන නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමකින් පර්චස් 113 ක් වන අතර මෙම රථගාල වර්ග අඩි 31,000 කින් සමන්විත වේ. එම ප්‍රමාණයෙන් වර්ග අඩි 20,000 ක බිම් කොටසක් මත ඉදිවන මෙම ගොඩනැගිල්ල මහල් 10 භූමි ප්‍රමාණයේ එකතුව වර්ග අඩි ලක්ෂ දෙකකි. මෙයින් වර්ග අඩි 40,000 ක් කාර්යාල සංකීර්ණ සහ සාප්පු සංකීර්ණ සඳහාත්, වර්ග අඩි එක්ලක්ෂ හැටදහසක් රථගාල සඳහාත් වෙන් කිරීමට නියමිතය. මේ අනුව ඉදිවන රථගාල ප්‍රසිද්ධ මහජන රථගාලක් ලෙස භාවිතයට ගැනීම කළ යුතුය යන මූලික සහ ප්‍රධාන කොන්දේසි යටතේ එය අනිවාර්ය කර තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් රථගාල ඉදිකිරීමේ කටයුතු අධික්ෂණය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya