පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාරණ මහතා අසන ලද වාචික ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ආයෝජන සඳහා පවත්නා නීතිමය බාධාවන් ඉවත් කිරීමට ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජනාධිපති කොමිෂන් සභාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙරට ආයෝජන සඳහා බාධාවන නීති රීති විමර්ෂනය කර වෙනස් කළ යුතු තැන් යෝජනා කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇතැයිද සඳහන් කළේය.ඒ අනුව මෙම නීති රීති සංශෝධනය කර වඩාත් ධනාත්මක නීති රිති ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙරට ආයෝජනය සඳහා පැමිණෙන ආයෝජකයින්ට ඒ සදහා අවශ්‍ය අවසර ලබා දීමේ දී සිදු වන ප්‍රමාදයන් අවම කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර නව ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අනුකමිටුවක්ද පත් කර තිබේ. සෑම වසරකම ආයෝජකයන් සඳහා ලබා දෙන යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
රට ඉදිරියට ගෙන යාමේදී තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා බව සහ ඉදිරියේදී රේගුව සම්බන්ධ ලියවිළි ඉදිරිපත් කිරීමේදී තාක්ෂණය උපරිම වශයෙන් භාවිතා කරමින් එම කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේය. දේශීය ව්‍යාපාර මෙරට කොඳු නාරටිය බව පැවසූ අමාත්‍යවරයා රුපියලේ අගය ශක්තිමත් කර,රටේ ගනුදෙනු කිරීමේ පහසුතා වැඩිදියුණු කර , කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කර මේ සියළු කටයුතු හරහා කාර්යක්ෂමතාව වැඩිදියුණු කර ආයෝජකයන් සඳහා පහසුකම් සැපයීමට කටයුතු කරන බවද පෙන්වා දුන්නේය.