පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    ශෝක යෝජනා විවාදයට

    පෙබරවාරි 12, 2021

    දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සුරංගනී එල්ලාවල මහත්මිය , කේ.පී සිල්වා මහතා සහ කපිල අබේරත්න මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා අද(12) පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා ලදී.

    විවාදය ආරම්භ කරනු ලැබුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි.

    දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුරංගනී එල්ලාවල මහත්මිය-

    මධ්‍යම පළාත් ආණ්‌ඩුකාරවරියව සිටි සුරංගනී විශාඛා එල්ලාවල මහත්මිය අභාවප්‍රාප්ත වන විට 77 වන වියේ පසු විය. ඇය කීර්තිමත් වාමාංශික නායකයෙකුව සිටි දිවංගත නන්ද එල්ලාවල මහතාගේ බිරිඳ මෙන්ම හිටපු මන්ත්‍රී අභාවප්‍රාප්ත නාලන්ද එල්ලාවල මහතාගේ මෑණියන්ද වූවාය. ඇය මධ්‍යම පළාත් ආණ්‌ඩුකාරවරිය ලෙස පත්වූයේ 2015 ජනවාරි මස 27 වැනිදාය. නන්ද එල්ලාවල මහතා 1967 වසරේදී සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ රජයේ ක්‍රියාකාරී මන්ත්‍රීවරයකු ලෙස සිටියදී ඔහුට අවශ්‍ය සහාය ලබා දෙමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළේද ඇයයි. ස්‌වාමි පුරුෂයාගේ අභාවය සිදුවූ 1988 වසරෙන් පසු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඇය 1989 වසරේදී සබරගමුව පළාත් සභාවට තේරීපත්ව එම පළාත් සභාවේ සමාජ සුබ සාධන අමාත්‍යවරිය ලෙසද පත්වූවාය. අනතුරුව එළඹි මහ මැතිවරණයේදී රත්නපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත්වීමටද ඇයට හැකි විය.

    දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී සිල්වා මහතා-
    ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ කැපී පෙනෙන නායකයකු වූ කේ. පී. සිල්වා මහතා ශ්‍රී ලංකා වාම ව්‍යාපාරයේ පුරෝගාමියකු විය. පී. සිල්වා මහතා මිය යනවිට 96 වැනි වියෙහි පසුවිය.

    දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අබේරත්න මහතා-
    සිය පියා වූ අබේරත්න මහතාගේ අඩි පාර ඔස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි කපිල් අබේරත්න මහතා 1979 වසරේ රත්නපුර මහ නගර සභාවේ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළේ ය. ඒ මහතා 1989 සිට 1990 දක්වා රත්නපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා විය. රත්නපුර හිටපු මන්ත්‍රී නන්ද එල්ලාවල මහතාගේ අභාවයෙන් පසු 1990 සිට 1994 දක්වා රත්නපුර ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් පත්විය. අනතුරුව 1997 සිට 1999 වර්ෂය දක්වා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා වූ කපිල් අබේරත්න මහතා 2011 වර්ෂයේදී නැවත එක්සත් ජනතා සන්ධානයෙන් රත්නපුර මහ නගර සභා මැතිවරණයට තරග කර වැඩිම මනාප ලබා රත්නපුර මහ නගර සභාවට තේරීපත්ව රත්නපුර මහ නගර සභාවේ අභාවයට පත් වන තෙක්ම නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කරන ලදී.

    ශෝක ප්‍රකාශ යෝජනා විවාදයට එක්වෙමින් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ සුරංගනී එල්ලාවල මහත්මිය දෑ හිතකාමී මහජන නියෝජිතවරියක් බවයි. කේ.පී සිල්වා මහතා වාමාංශික දේශපාලනයේ මිණිකිරුළක්ව බැබැළුණ බව සඳහන් කල අග්‍රාමාත්‍යවරයා ඒ මහතාගේ නාමය වාමාංශික ඉතිහාසයේ නොමැකෙන නමක් බවත් , ඔහු නිර්ධන පංතියෙන් බිහිවුණු පළමු වාමාංශික දේශපාලක්ඥයා බව සඳහන් කළේය.


    කපිල අබේරත්න මහතා 1990 සිට 1994 දක්වා එතුමා අඛණ්ඩව රත්නපුර ජනතාවට විශාල සේවයක් සිදු කළ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ අගමැතිවරයා රටට අවශ්‍යම මොහොතක මෙවන් දෑ හිතකාමී මහජන නියෝජිතයින් අහිමි වීම ශෝඛය දනවන කරුණක් බව සඳහන් කළේය.

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ඇතුළු මැති ඇමතිවරු රැසක් ශෝක යෝජනා විවාදයට එක්වෙමින් අදහස් දැක්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya