අප බොහෝ දෙනා පක්ෂ පාට අමතක කර ඔහු වෙත මුලින්ම බැදුණේ මවු බසට ඔහු දැක්වූ ගරුත්වයත්, එබස හැසිරවූ චතුර විලාසයත් නිසා බව මහින්ද යාපා අබේවර්ධන මහතා, සිය ශෝක පණිවිඩයේ තවදුරටත් ප්‍රකාශ කර සිටියි. කථානායකවරයා ගේ ශෝක පණිවිඩයේ වැඩිදුරටත් මෙලෙස සදහන් වෙයි.
හපුතලේ ග්‍රාමයේ උපන් විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකුබණ්ඩාර හෙවත් ඔබ අප කවුරුත් දන්නා වි.ජ.මු. ලොකුබණ්ඩාර මුලින් යහළබැද්ද පාසලෙන්ද, අනතුරුව බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් ද පාසල් අධ්‍යාපනය හදාළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අංශයේ උපාධිධාරියෙකු වූ හෙතෙම ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිධරයෙක් ද විය. ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙකි. එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනයන්ගේ ඇරයුමෙන් දේශපාලනයට පිවිසි ලොකුබණ්ඩාර මහතා කිසි කලෙක සිය සාහිත්‍ය
කලා විෂයය හා වූ සබැදියාව අමතක නොකළ සැබෑ භාෂා ප්‍රේමියෙකි. 1977 වසරේදී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිස එම රජයේ කැබිනට් නොවන දේශීය වෛද්‍ය අමාත්‍ය වරයා ලෙස කටයුතු කළ ඔහු 1989 දී සංස්කෘතික හා මාධ්‍ය කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේ ය. සිංහල බසින් ලියැවුණු එවකට දුලබ,පැරණි කෘතීන් ගණනාවක් හෙතෙම නැවත පළ කර දිවයින පුරා බෙදා හරින්නට යෙදුණේ මේ වකවානුවේදීය. කැබිනට් අමාත්‍ය ධුර දැරුවද නැතද ගැමිකමද සරලකමද නිහතමානීකමද ඔහුගේ සිනහවෙහි නොමදව දක්නට
ලැබිණ.විජමු දේශපාලඥයෙකු වුව කවර අභියෝග ඉදිරියේදී වුවද සිය මුදුන් මුල අමතක නොකළ මිනිසෙකැයි මා කියන්නේ එබැවිනි.
නිදහසින් පසු මෙරට සොළොස්වන කථානායකවරයා ලෙස පත්වූ විජමු ලොකුබණ්ඩාර මැතිතුමා 2004-2010 දක්වා සිය ධුර කාලය තුළ අපක්ෂපාතීත්වය ආරක්ෂා කරගනිමින් කටයුතු කළේය . පසුව සබරගමුවේ ආණ්ඩුකාරධූරය හෙබවූ කලෙක පවා විජමු සිය ලේඛනය නොනැවැත්වීය. බස හැසිරවීමේ නිපුණතාවය සම්බන්ධයෙන් දසතින් ඇගයුම් ලද ලොකුබණ්ඩාර සූරීහු සීගිරි ගී සිරි ,රසදීපනි, ශාස්ත්‍රීය වාද ලිපි, The Mystic of Sigiriya ආදි කෘති ගණනාවක කතුවරයාය. එහෙයින්ම හෙළහවුල සිය සාමාජිකයෙකු වූ ඔහු අගයා, බස රැස දෙස නංවමින් කළ මේ අනුපමේය සේවය පිණිස , හෙළ බස් ඉසුරු යන ගෞරව නාමයෙන්ද විජමු ලොකුබණ්ඩාරයාණෝ පිදුම් ලදහ. ඔහුගේ අභාවයෙන් දැඩිව ශෝක වන්නන් අතරට එක්වන මම පවුලේ ඥාතීන්
වෙත සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා හා කාර්ය මණ්ඩලයේද සංවේගය ඔවුන් වෙත පුද කර සිටිමි.