පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    අතහැර දමා තිබූ රුවන්වැල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට ජනපතිගෙන් හා අගමැතිගෙන් උපදෙස්

    පෙබරවාරි 16, 2021

    යහපාලන රජය අතහැර දැමූ යෝජිත රුවන්වැල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය, මෙම වසර තුළ ආරම්භ කරන බවත්, එම ව්‍යාපෘතිය සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ  අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ අවධානයක් යොමු වී තිබෙන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පවසයි.

    අමාත්‍යාංශ ලේකම්වරයා මෙම අදහස් පළකළේ පසුගිය දා බත්තරමුල්ල, සුහුරුපාය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවති සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡාවකදීය.

    පසුගිය පාලන සමයේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවලට වඩා ක්‍රියාත්මක නොකළ සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණය වැඩි බව ඒ පිළිබඳව සිදුකළ සොයාබැලීම්වලදී හෙළි වී තිබෙන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පෙන්වා දෙන ලදී.

    මේ අනුව එතෙක් ප්‍රමාද කර තිබූ එම ව්‍යාපෘති කඩිනමින් සංවර්ධනය කරන ලෙසට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබාදී තිබෙන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

    එම උපදෙස්වලට අනුව සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් නාගරික සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටී.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන කටයුතු අධික්ෂණය කරනු ලබයි.

    ඒ යටතේ යෝජිත රුවන්වැල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

    අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම වැඩපිළිවෙල 2021 වසරෙන් ආරම්භ කර 2026 වසර වන විට අවසන් වන පස් අවුරුදු සැලැස්මක් ලෙස හඳුන්වා දී ඇත.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම සංවර්ධන සැළැස්මට අලුතින් යෝජනා ඇත්නම් එම යෝජනා ද මීට ඇතුළත් කළ හැකි බවයි.

    ඉදිකිරීමට යෝජිත වාණිජ මධ්‍යස්ථානය සඳහා දැනටමත් වාණිජ බැංකු, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සමඟ සාකච්ඡා කර තැන් තැන්වල විසිරී තිබෙන කාර්යාල කඩසාප්පු එක තැනක තිබීමේ වැදගත්කම වටහා දෙමින් ජනතාවට ඒ පහසුව සමඟින් හොඳ ප්‍රතිලාභ ලබාදීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

    රුවන්වැල්ල ආසන සංවිධායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල මහතා මෙහිදී ප්‍රකාශ කළේ හැටන්, නුවරඑළිය, යාපනය, වවුනියාව, දඹුල්ල වැනි පළාත් අතර ප්‍රවාහන සේවය සඳහා රුවන්වැල්ල ප්‍රදේශය ඉතා හොඳ මධ්‍යස්ථානයක් වන බවයි. ඒ අනුව ලබන වසරේ සිට එම ප්‍රවාහන සේවා ඇරඹීමට කටයුතු යොදන බව ද ඔහු පැවසීය.

    “රුවන්වැල්ල හරහා තමයි සියළු දුර ගමන් මාර්ගය වැටී තිබෙන්නේ. නමුත් දුර ගමන් බස් සේවා බස්රථ නැවතුම්පොළක් රුවන්වැල්ලේ නැහැ. බස්රථ ගාලකුත් නෑ. මේ සංවර්ධන කටයුතුවලින් ඒ අඩුව පිරවේවි. ඒ වගේම රුවන්වැල්ල ප්‍රදේශය හොඳ සංචාරක කලාපයක්. ඒ ගැනත් අවධානය මේ සංවර්ධන කටයුතුවලදී යොදවනවා.”යනුවෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    මේ වන විට යෝජිත රුවන්වැල්ල නගර සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක කළ සහ ක්‍රියාත්මක නොකළ ව්‍යාපෘති ගණනාවක් හඳුනාගෙන තිබේ. ඉන් ව්‍යාපෘති හතරක් කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ දැනටමත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතී.

    සතිපොළ සංවර්ධනය පළමු අදියර, ක්‍රීඩාංගනය සංවර්ධනය, කරවනැල්ල බස් නැවතුම්පොළ සංවර්ධනය සහ සංගිලි පාලම සංවර්ධනය එම ක්‍රියාත්මක ව්‍යාපෘති වේ.

    යෝජිත සංවර්ධන ව්‍යාපෘතිය තුළ ක්‍රියාත්මක නොකළ තවත් ව්‍යාපෘති ගණනාවක් පවති. නව සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති හතක් ලෙස දක්වා තිබේ.

    බස් නැවතුම්පළ සහ වාණිජ සංකීර්ණය ඉදි කිරීම, සතිපොළ සංවර්ධනය දෙවන අදියර, රථ වාහන නැවතුම්පල සංවර්ධනය, විවේක හා විනෝද උද්‍යානය ඉදිකිරීම, රුවන්වැල්ල - නිකවලමුල්ල පාලම ඉදිකිරීම, නගර අභ්‍යන්තර මාර්ග සංවර්ධනය සහ මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම එම ව්‍යාපෘති වේ.

    මෙම යෝජිත මහල් නිවාස සංකීර්ණය සහ වාණිජ සංකීර්ණය එකට ඉදිකිරීමට නියමිතයි. මෙම ඉදිකිරීම සිදුකෙරෙනුයේ “හිමායාතොටවත්ත” නම් ඉඩමේය. මෙම ඉඩම අත්පත් කර ගැනීමේ කටයුතු මේ දිනවල නාගරික සංවර්ධන අධිකාරිම මඟින් සිදුකරමින් පවති.

    හිමායාතොටවත්ත ප්‍රමාණයෙන් අක්කර එකහමාරක විශාලත්වයෙන් යුතු ඉඩමකි. මේ වන විට මෙම ඉඩම පිළිබඳව ස්ථාන පරීක්ෂාවක් ද සිදුකර තිබේ.

    යෝජිත විවේක සහ විනෝද උද්‍යානය මෙම සංවර්ධනයට එක්වු විශේෂ ව්‍යාපෘතියක් ලෙස පිළිගැනේ. මේ සඳහා ඉඩමක් හඳුනාගෙන තිබෙන අතර එම ඉඩම දැනට පවතින ක්‍රීඩා පිටිය පිටුපස පිහිටා තිබේ.

    රුවන්වැල්ල නාගරික බල ප්‍රදේශය පුළුල් කිරීම ඉදිරිපත්ව තිබෙන තවත් යෝජනාවකි. දැනට රුවන්වැල්ල බල ප්‍රදේශය වර්ග කිලෝමීටර් 13.4 කින් සමන්විතයි. එය පුළුල් කිරීමේදී නව බල ප්‍රදේශය වර්ග කිලෝමීටර් 44.37 ක් ලෙස විශාල වේ.

    රුවන්වැල්ලේ දැනට පවතින ග්‍රාම සේවා වසම් ගණන 08 කි. බල ප්‍රදේශය පුළුල් වීමත් සමඟම එය ග්‍රාම සේවා වසම් 17 ක් දක්වා ඉහළ යාමට නියමිතයි.

    රුවන්වැල්ල නාගරික බල ප්‍රදේශය ගොඩනැගෙනුයේ තාර්කික පදනමක් මත පිහිටීමෙනි. රුවන්වැල්ල නගරය වාණිජ වටිනාකම් සහිත නගරයක් වීම නිසාවෙනි. ඒ යටතේ මෙම තාර්කික පදනම හේතුන් මෙසේ හඳුන්වා දී තිබේ.

    නගරයේ සංවර්ධන කටයුතු නාගරික බල ප්‍රදේශයෙන් පිටතට ගමන් කිරීම, ඉහළ ජන වර්ධනයක් නාගරික බල ප්‍රදේශයෙන් පිටතට ගමන් කිරීම, අධිකව පවත්නා නේවාසික ඉල්ලීම මත නේවාසික නගරයක් ලෙස නම් කිරීමට සිදුවී තිබීම, පළාත් අගනගරය වන රත්නපුරය සහ දිස්ත්‍රික් අගනගරය වන කෑගල්ල යන නගරයන් සියලු මාර්ග පද්ධතිය ජාලා සමඟ සෘජුව සම්බන්ධව තිබීම, නිට්ටඹුව, කොළඹ, අවිස්සාවේල්ල, වරකාපොළ යන ප්‍රධාන නගර සමඟ සෘජුවම සම්බන්ධකම් පැවැත්වීම, සීතාවක කර්මාන්තපුරයේ බලපෑමට හසුව තිබීම යන මෙම කරුණුවලට අමතරව රුවන්වැල්ල නගර සංවර්ධනයට වෙනත් ඓතිහාසික කරුණු කීපයක් ද බලපා ඇත.

    ලංකාවේ පලමු තැපැල් කාර්යාල හතෙන් එකක් වන රුවන්වැල්ල තැපැල් කාර්යාලය පිහිටා තිබීම, ලංකාවේ පළමු රෝහල් හතෙන් එකක් වන කරවනැල්ල මූලික රෝහල පිහිටා තිබීම, කැලණිය සහ සිතාවක ගංගාවලින් පෝෂණය ලබන ප්‍රදේශයක් වීම, මේ හැර ලංකාවේ වත්මන් මාර්ග සංවර්ධනයේ දී කොළඹ මගහැර දිවෙන ප්‍රධාන මාර්ග පද්ධතින් සියල්ල රුවන්වැල්ල නගරය හරහා ගමන් කිරීම, මෙසේ වැටී ඇති ප්‍රධාන මාර්ග ලෙස කටුනායක - හැටන් මාර්ගය, යාපනය - හම්බන්තොට මාර්ගය, නුවර - රත්නපුර මාර්ගය, කුරුණෑගල - කතරගම මාර්ගය යන ප්‍රධාන මාර්ග සැලකිය හැකිය.

    රුවන්වැල්ල නාගරික බල ප්‍රදේශයක් ලෙස 1992 මැයි මස 29 වන දින ප්‍රකාශයට පත්ව තිබේ. ඒ අංක 716/21 දරණ ගැසට් පත්‍රය යටතේය. රුවන්වැල්ල නගර සංවර්ධනය ප්‍රකාශයට පත් වූයේ 2007 ජනවාරි 19 වන දින නිකුත් වූ අංක 1482/5 දරණ ගැසට් පත්‍රය යටතේය.

    රුවන්වැල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය සාකච්ඡාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රුවන්වැල්ල ආසන සංවිධායක සුදත් මංජුල, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර, නාගරික සංවර්ධන අධිකාරිය ඉංජිනේරු එස්. මඩවල, නාගරික සංවර්ධන අධිකාරියේ සබරගමු පළාත් අධ්‍යක්ෂිකා තුෂාණි අල්විස්, කෑගල්ල නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දීප්ති විජේනායක, රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති මංජුල නවරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වී සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya