විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නිතීවිරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදුවන බලපෑම මෙන්ම මෙරට සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට එල්ලවන හානිය මැඩපැවැත්වීමේ අරමුණින්, නාවික හමුදාව මුර සංචාර වැඩි කරමින් අඛණ්ඩ මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා අද (2022 අගෝස්තු මස 10) සිදුකරන ලදී. එහිදී, අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාවට ඇතුළුවී මුලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ධීවරයින් 09 දෙනෙකු සහ ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනිමට කටයුතු කෙරිණි.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සමඟ එහි සිටි ඉන්දීය ධීවරයින් නව දෙනා (09) මේ වන විට ත්‍රිකුණාමලය වරායට රැගෙන එමින් සිටින අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.
තවද, මෙරට මුහුදු තීරයේ ආරක්ෂාව සහ දේශීය ධීවරයන්ගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරනු ලබයි.