විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදුවන බලපෑම මෙන්ම මෙරට සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට එල්ලවන හානිය මැඩපැවැත්වීමේ අරමුණින්, නාවික හමුදාව මෙරට මුහුදු තීරයේ මුර සංචාර වැඩි කරමින් අඛණ්ඩ මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානය මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා 2022 අගෝස්තු 27 දින රාත්‍රී කාලයේදී සිදුකරන ලදී. එහිදී, තලෛමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු (06) සහ ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් හය දෙනා (06) මේ වන විට තලෛමන්නාරම නාවික හමුදා භාරයේ සිටින අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.
එමෙන්ම, පසුගිය 2022 අගෝස්තු 22 වන දින නාවික හමුදාව මුලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙවැනිම මෙහෙයුමකින් ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දීමට කටයුතු කරන ලදී.
තවද, මෙරට මුහුදු තීරයේ ආරක්ෂාව සහ දේශීය ධීවරයන්ගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරනු ලබයි.