ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා ලෙස අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ් අතුරු අයවැය කතාව අවසානයේ දී මෙම ආරාධනය සිදු කළේ ය.
එහිදී අඳහස් පල කළ ජනාධිපතිවරයා;
''සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන්නැයි කියා මම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට යළි යළිත් ආරාධනා කරන්නේ, මේ අවස්ථාවේ රටේ අවශ්‍යතාවය, ජාතියේ අවශ්‍යතාවය සඳහා ප්‍රමුඛත්වය ලබා දීම අපි හැමෝගේම වගකීමක් නිසයි.
ආණ්ඩුවේ අහවල් ක්‍රියාව නිසා අප සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතු වෙන්නේ නෑ කියා සමහර පක්ෂ කියනවා. අහවල් ප්‍රතිපත්තිය නිසා එකතු වෙන්නේ නෑ කියාත් තවත් අය කියනවා.
මම ඔවුන්ට අවධාරණය කළයුතු කරුණක් තියෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක ක්‍රියාවන් හෝ ප්‍රතිපත්ති තීන්දු කරන්නේ මම නෙවෙයි. එය තනි පුද්ගලයෙක් හෝ තනි පක්ෂයක් හෝ නෙවෙයි. එය පිහිටුවන්නේ ආණ්ඩුවේ සියලු පාර්ශවකරුවන් ගේ එකඟත්වය අනුවයි. ඉතින් ඔබට නොගැලපෙන ප්‍රතිපත්තීන් හෝ ක්‍රියාවන් තිබේනම්, සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළ ඒවා වෙනස් කිරීමේ අයිතිය සහ බලය ඔබට ඇති බවත්, මම මේ අවස්ථාවේ නැවත අවධාරණය කරන්න කැමතියි.
ඒ නිසා තම තමන්ගේ දේශපාලන අරමුණු පසෙක ලා, ජාතික අරමුණු වෙනුවෙන්, රට ජාතිය යළි ගොඩ නැංවීමේ අරමුණ වෙනුවෙන් එක්වන ලෙස මම මේ ගරු සභාවේ ඔබ සැමගෙන් සහ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි එකතු වුණොත් අපේ මාතෘ භූමිය ඉහළට ඔසවා තබන්නට අපට හැකි වේවි. ලෝකයත් සමඟ හරි හරියට තරඟ කරමින් ඉදිරියට යන ජාතියක් නිර්මාණය කරන්නට අපට හැකි වේවි. අප මේ අවස්ථාව අත හැරියොත් අප ලෝකයේ කොන් වේවි.
මහපොළ ශිෂ්‍යත්ව අරමුදල වෙනුවෙන් නිර්මාණය කළ ටෙලි නාට්‍යයකට බණ්ඩාර ඇහැලියගොඩ ලියූ “ආජි තපර ලාහිලා” ගීතයේ මෙන්න මේ වචන මම ඔබට සිහිපත් කරන්නට කැමතියි.
“අප පමණද එක තැන කැරකෙන්නේ - අප තනිකර ලෝකය දිව යන්නේ”
ඉතින් තවදුරටත් එකතැන කැරකෙමින් ඉන්නේ නැතිව අපි රට වෙනුවෙන් එකට එකතු වෙමු. ලෝකයත් සමග ඉදිරියට දිවයන්නට පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් සහ දැනුමෙන් පරිපූර්ණ සමාජයක් නිර්මාණය කරමු.''