නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙතෙක් ප්‍රකාශයට පත්කර ඇති සංවර්ධන සැලසුම් සියල්ල නැවත කඩිනමින් සමාලෝචනය කෙරේ.
එම සංවර්ධන සැලසුම් වර්තමානයට ගැලපෙන ලෙස යාවත්කාලීන කිරීම මෙහි අරමුණ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත සංවර්ධන සැලසුම් නැවත සමාලෝචනය කරන ලෙසද ඇමතිවරයා නිළධාරීන්ට උපදෙස් දෙයි.
ඒ සදහා නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළත් කර විශේෂ කමිටුවක් ද සකස් කෙරේ. නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සමග (31) පැවති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ එම අධිකාරිය මගින් ප්‍රකාශයට පත්කර ඇති ඇතැම් සංවර්ධන සැලසුම්වල ගැටළු සහගත තත්ත්වයන් පිළිබදව තමන්ට පැමිණිලි ලැබී ඇති බවයි.
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී එම සාකච්ඡාව පැවැත්විණි.
1999 වසරේ සිට 2022 වසර දක්වා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගැසට් කර ඇති සංවර්ධන සැලසුම් ප්‍රමාණය 69 කි. මෙම වසර තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත සංවර්ධන සැලසුම් ප්‍රමාණය 42 කි.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රදේශ 273 ක් දැනට නාගරික බල ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. විෂය භාර අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ඕනෑම ප්‍රදේශයක් සදහා සංවර්ධන සැලැස්මක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය බැඳී සිටී. ඒ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත මගිනි.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ, සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් වන ගැටළු කඩිනමින් විසඳාගත යුතු බවයි. එසේ නොමැති වුවහොත් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
සැබෑ සංවර්ධන අවශ්‍යතාවයන් හදුනාගැනීම සදහා වඩාත් ප්‍රතිඵලදායක සංවර්ධන සැලසුම් කෙරෙහි අවධානය යොමු කරන ලෙස මෙහිදී පැවසූ අමාත්‍යවරයා, මේ වන විට පවතින ආර්ථික අර්බුධය විසදා ගනිමින් රට සංවර්ධන මාවතට යොමුකළ හැකි ප්‍රායෝගික සැලසුම් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන ලෙසද උපදෙස් දුන්නේය.
මෙම සාකච්ඡාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (සැලසුම්) ලලිත් විජේරත්න, ගම්පහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ හේමාල් ලක්පැතුම් යන මහත්වරුන් සහ ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීහූ සහභාගී වූහ.