අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ නවීන තාක්ෂණය සහිතව කොළඹ 7 ටොරින්ටන් ක්‍රීඩාගාරයෙහි උඩුමහලේ පිහිටු වූ අංග සම්පූර්ණ ශක්ති වර්ධන මධ්‍යස්ථානය (13) දින විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.
එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
මම ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් වන මොහොතේ රටේ සෑම පැත්තකම ප්‍රශ්න උද්ගත වී තිබුණා. අපේ ක්‍රිකට් කණ්ඩායම හා දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතාව ශ්‍රී ලංකාවට හිමිකර දුන්නා. ඕස්ට්‍රේලියානු තරගමාලාවේ දී අධිෂ්ඨානශීලිව එක් ඉලක්කයක් තබා ගෙන අපේ ක්‍රීඩකයන් ආ ගමන අද ක්‍රිකට් ක්‍රීඩාවේ ආසියානු කුසලානය අපේ රටට දිනා ගැනීමට හැකි වුණා. ඒ වගේමයි දැල්පන්දු ආසියානු ශූරතා කුසළානය ශ්‍රී ලංකාවට ගේන්න අපේ දැල්පන්දු කණ්ඩායම ලොකු කැප කිරීමක් කලා. මෙම කාර්යයේ දී සුවිශේෂී කණ්ඩායමක් පිටුපස සිටිනවා. පුහුණුකරුවන්, සංගමයේ නිලධාරීන්, විනිසුරුවන්, ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් යන මේ සියලු දෙනා මේ ජයග්‍රහණය සමග අත්වැල් බැදගෙන සිටියා.
මම නැවත නැවතත් කියන්නේ මේ රටේ ප්‍රධාන ව්‍යාපාර ආයතනවලින් ඔබ කැමති එක් ක්‍රීඩාවක වගකීම භාරගන්න කියලා. මම දන්නවා ප්‍රධාන ව්‍යාපාර මෙහෙයවන ඔබට එක් ක්‍රීඩාවක් සදහා වැය කිරීමට සිදුවන මුදල බෝක්කුවක් තුලින් යන පොල්ලෙල්ලක් වගේ කුඩා දෙයක්. ව්‍යාපාරික ඔබතුමන්ලා දරුවන් වෙනුවෙන් අසීමිතව මුදල් වැය කරමින් සුබසාධන කටයුතු සිදු කරනවා. එය මාධ්‍ය ආයතනවලින් මම විශේෂයෙන් ඉල්ලනවා එක් එක් ක්‍රීඩාවන්හි දැනුම ලබා දී ක්‍රීඩාවේ වැදගත් බව පෙන්වා දෙන්න.
මෙම මස 15 වැනිදා ක්‍රීඩාවට වග කියන සියලු ආයතන ඒකරාශි කර සාකච්ඡාවක් පවත්වා එකම මගක යන ජාතික වැඩ පිළිවෙලක් සකස් කිරීමට අපි මුල පුරනවා. සෘජුවම ක්‍රීඩාවට සම්බන්ධ ආයතන ලෙස හදුනාගත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික ක්‍රීඩා සභාව, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා සංගම් හා සම්මේලන, පළාත් සභා , ත්‍රිවිධ හමුදා හා පොලීසිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය එක්ව ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී එකාබද්ධ හමුවක් පැවැත්වීමට කටයුතු සැළසුම් කළා.
මෙම හමුවෙහි අරමුණ ආයතන සියල්ල එකාබද්ධ කර ජාතික ක්‍රීඩා සැළැස්මක් සැකසීමයි. ඒ සදහා වර්තමාන ක්‍රිඩා අමාත්‍යවරයා ලෙස මා මූලිකත්වය ගෙන කටයුතු කරනවා. මෙමගින් ගම් මට්ටමින් ක්‍රීඩාවට දක්ෂ දරුවන් හදුනාගැනීමට හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ දක්ෂතා අනුව උපරිම තලයට යාමට රටක් ලෙස අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා දීමට හැකිවනු ඇත.
මේ අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහන දිසානායක මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසිංහ මහතා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා, ප්‍රවීණ මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය, ශ්‍රියාණි කුලවංශ මහත්මිය, මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා, පැරා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා හා පාලිත බණ්ඩාර මහතා, කරාතේ සංගමයේ සභාපති මානෙල් ධර්මකීර්ති යන මහත්වරුන් හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරීන් ඇතුළු ක්‍රීඩික ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි විය.