ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රසායනික හා කාබනික පොහොර භාවිතය පිළිබද පැහැදිළි නිර්වචනයක් ගොවීන්ට ලබාදිය යුතුයි- කෘෂි ඇමති

    ඔක්තෝබර් 26, 2023

    වී වගාවේ ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා රසායනික හා කාබනික පොහොර භාවිතය පිළිබද පැහැදිළි නිර්වචනයක් ගොවි ජනතාවට ලබා දිය යුතු බවත්, නමුත් දැනට ඒ සම්බන්ධව පැහැදිළි මතයක් ගොවි ජනතාව අතරට නොයාම ගැටළුවක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    දේශීය කෘෂිකර්මාන්තයේ වී වගාව පිළිබඳ උනන්දුවක් දක්වන විද්වතුන් පිරිසක් සමග (26) පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    2021 මහ කන්නය සියයට 100ක් කාබනික පොහොර අනිවාර්ය කිරීම නිසා මේ රටේ කෘෂිකර්මාන්තය විනාශ වී යාමේ තර්ජනයට මුහුණදීමට සිදුවිය. මේ හේතුවෙන් වී අස්වනු අඩු වීම නිසා 2022 වර්ෂය පුරාම සහල් පිටරටින් ආනයනය කෙරිණි. ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් ආනයනය කළ අතර ඒ සඳහා රටට වැය කිරීමට සිදුවු මුදල ඩොලර් මිලියන 300 ඉක්මවා තිබේ.

    එමෙන්ම වර්තමානයේ දී සියයට 100ක් රසායනික පොහොර යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීම ද ගැටලු සහගතය. රසායනික පොහොර පමණක් යෙදීම මගින් අස්වනු වැඩි වන්නේ නොමැති බවත් එමනිසා වී වගාවේ දී කාබනික පොහොර හා රසායනික පොහොර භාවිතය සම්බන්ධව පැහැදිළි නිර්වචනයක් ඉදිරිපත් කළ යුතුව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


    දැනට සිදු කර ඇති පර්යේෂණ අනුව වැඩිම වී අස්වැන්නක් ලබා ගැනීමට නම් රසායනික පොහොර හා කාබනික පොහොර යන දෙවර්ගයම යම් අනුපාතයකට යෙදිය යුතු බවත්, එම අනුපාතය ඒ ඒ ප්‍රදේශවල පසෙහි පවතින පාංශු හා දේශගුණ තත්ත්වයන් (වර්ෂාව, ආලෝකය) සැළකිල්ලට ගනිමින් තීරණය කළ යුතු බවත් මෙම සාකච්ඡාවට සහභාගි වූ විද්වතුන් අවධාරණය කළේය.


    දැනට ඉහළ විභවතාවයකින් යුත් ප්‍රදේශ අප රටේ පවතින බවත් විශේෂයෙන් මහවැලි එච් කළාපය, අම්පාර, හම්බන්තොට, උඩවළව, පොලොන්නරුව වැනි ප්‍රදේශ වී වගාවේ ඉහළම අස්වැන්නක් ලබා ගත හැකි ( High potential Area) ප්‍රදේශ වේ. එමෙන්ම තෙත් කලාපයේ තිබෙන්නේ ආන්තික කුඹුරු පමණක් නිසා වී අස්වැන්න අවම මට්ටමක පවතින අතර තෙත් කළාපය වී වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගත නොහැකි ප්‍රදේශයක් වශයෙන්ද හඳුනාගෙන ඇත.


    කෙසේ වුවද වී වගාවේ ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට නම් කාබනික හා රසායනික පොහොර යෙදීම මෙන්ම වගාවේ නව තාක්ෂණික උපක්‍රම ද භාවිතා කළ යුතුව ඇත. විශේෂයෙන් පැරෂුට් තාක්ෂණය යොදා ගැනීම මගින් ඉහළ අස්වැන්නක් ලබාගැනීමට හැකියාව පවතී.


    දැනට දකුණු ආසියානු කලාපය තුළ වැඩිම වී අස්වැන්නක් ලැබෙන රට වන්නේ අපේ රටයි. එමෙන්ම මේ වනවිට රට තුළ වගා කරන වී ප්‍රභේදවලින් සියයට 100ක්ම දේශීය වී ප්‍රභේද බවත්, දෙමුහුන් හෙවත් හයිබ්‍රිඩ් වී ප්‍රභේද අප රට තුළ භාවිතා නොකරන බවත් ඔවුන් පැවසීය.


    කෙසේ වුවද රට තුළ වී අස්වැන්න ඉහළ නැංවීම මෙන්ම අපනයනය ඉළක්ක කර ගනිමින් සහල් නිෂ්පාදනය ප්‍රවර්ධනයට උචිත වී ප්‍රභේද හඳුන්වා දීමට පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
    මෙම අවස්ථාවට කෘෂිකර්ම ලේකම් ගුණදාස සමරසිංහ මහතා මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා පාරම්පරික වී වර්ග වගා කරන ගොවි එකමුතුවේ සාමාජිකයින් ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya