ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රට තුළ කිසිදු පොහොර හිඟයක් නැහැ

    පෙබරවාරි 27, 2016

    ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කරන පරිදි කිසිදු පොහොර හිඟයක් රට තුළ නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පටු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැමුන් ගොවීන්ව සිය අරමුණු වෙනුවෙන් යොදා ගනිමින් සිටින බවයි. ඊයේ (26) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

    රටේ පොහොර හිඟයක් ඇති බවට ඊයේ ඇතැම් මාධ්‍යවල පළ වී තිබුණ වාර්තා දැක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමට ආරාධනා කළ බවත් ඒ සඳහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග සහ නියෝජ්‍ය ලේකම් එස්.ආර් ආටිගල යන මහත්වරු සහභාගී වූ අතර  අගමැතිතුමත් මේ සම්බන්ධයෙන් කතා කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
    අමාත්‍යවරයා පොහොර සම්බන්ධයෙන් මෙසේ විස්තර කර සිටියේය.

    "කන්නයක් සඳහා පොහොර අවශ්‍ය වෙන්නේ මෙට්‍රික් ටොන් 165,000ක් විතර ප්‍රමාණයක්. දැනට රජය සතුව තියෙනවා පොහොර මෙට්‍රික් ටොන් 97,977ක්. පෞද්ගලික අංශයේ මේ වසරේ ආනයනය කිරීම සඳහා අවසර ලබාගෙන ඇති පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 580,000ක්. ඉන් මේ වන විට ඔවුන් මෙට්‍රික් ටොන් 73,668ක් ආනයනය කරල තියෙනවා.

    මාර්තු මාසය අග වන විට තවත් මෙට්‍රික් ටොන් 92,931 පෞද්ගලික අංශය ආනයනය කරන්න නියමිතයි. ඒ අනුව පොහොර අවශ්‍ය වෙන කාලය වෙද්දි පොහොර මෙට්‍රික් ටොන් 166,599ක් ශ්‍රී ලංකාවේ තියෙනවා. ඉන් ඉතාම පැහැදිලි වෙනවා ඇත්තට ම පොහොර හිඟයක් තියෙනව ද නැද්ද කියල."

    රජය හැම අවස්ථාවක දී ම ගොවි ජනතාවට සහන දීල තියෙන අතර වී ගොවිතැන වෙනුවෙන් පසුගිය වසර තුළ රුපියල් බිලියන 84ක් සහනාධාර ලබා දීල තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් එස්.ආර් ආටිගල, සංවර්ධන මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. එම්. පී. එම්. බී. අතපත්තු යන මහත්වරු ද එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya