ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැකසීමට ඉදිරියේදී කටයුතු කරනවා- ජනපති

    ජූනි 26, 2016

    ලැබී ඇති මහජන අදහස් සැළකිල්ලට ගනිමින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳ ඉදිරි කටයුතු කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    පොදු මහජනතාවගේ කැමැත්ත අනුව මිස ඉන් බාහිරව කිසිදු කටයුත්තක් කිරීමට රජය සූදානම් නොමැති බව ද ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේ ඊයේ (25) ගාල්ල, විද්‍යාලෝක මහා පිරිවෙන් විහාරස්ථානයේ පැවති පුණ්‍යෝත්සවයකට එක් වෙමිනි.

    නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම තුළින් මේ රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩත්වය සහ ජනතාවගේ නිදහස මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තව තවත් ශක්තිමත් කිරීම මිස කිසි ලෙසකින් අවුල් සහගත වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    එමෙන්ම රටට සුදුසු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම නීති විශාරදයින්, දේශපාලනඥයින් ඇතුළු සියලු දෙනාගේම වගකීමක් බව ද ජනාධිපතිතුමා පැවසීය.

    නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ පමණක් නොව රජයේ සියලු කටයුතු පිළිබඳ නිදහස් මාධ්‍ය තුළ විවිධ නිදහස් අදහස් පළවන බව මෙහිදී පැවසු ජනාධිපතිතුමා ඒවා ඇතැම් විට පුදුම සහගත බවත් ජාතියේ යහපත උදෙසා විනා ජාතියේ විනාශය උදෙසා අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍යයන් භාවිතා කිරීමට කටයුතු නොකළයුතු බවත් කියා සිටියේය.

    ති‍්‍රවිධ හමුදාවල සේවය කරමින් වයස අවුරුදු 42- 43 වන විට එනම් රට වෙනුවෙන් හොඳම සේවාවක් ඉටු කිරීමට හැකි අවධියක විශ‍්‍රාම ලබන්නන්ට තම දැනුම, හැකියාව සහ නිර්මාණශීලිත්වය තව තවත් රට වෙනුවෙන් ලබාදීමට අවස්ථාව සළසා දෙමින් ජාතික සංවර්ධන සංචිතයක් ස්ථාපිත කරීමේ වැඩපිළිවෙළක් දිවයිනේ පළමු වරට කි‍්‍රයාවට නැංවීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා පැවසීය.

     

    තමන් කැමති නම් පමණක් එම සංචිතයට ඇතුළත් වී රාජ්‍ය ආයතන සම සම්බන්ධවෙමින් ජාතික සංවර්ධන වැඩපිළිවෙල හා දායකවීමට හැකි බව පැවසූ ජනාධිපතිතුමා රට තුළ විවිධ ක්ෂේත‍්‍රයන්හි පවතින මානව සම්පත් හියට එය විසඳුමක් වනු ඇති බවද පැවසීය.

    වෙසක් පොහොය දිනය ජාත්‍යන්තර සැමරුම් දිනයක් බවට එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කිරීමත් සමඟ 2016 ජාත්‍යන්තර වෙසක් පොහෝ දිනය තායිලන්තයේ දී සැමරූ අතර එය ලබන වසරේදී ශී‍්‍ර ලංකාවේ දී සැමරීමට නියමිත බවත් එම උත්සවය අන්තර්ජාතික බෞද්ධ උළෙලක් ලෙස අති උත්කර්ෂවත් අන්දමින් ශී‍්‍ර ලංකාවේදී සැමරීම සඳහා අවශ්‍ය මූලික සංවිධාන කටයුතු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ මඟපෙන්වීම මත මෙම අවස්ථාවේ සිටම කි‍්‍රයාවට නංවන බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

    මෙදිනම ගාල්ල, විද්‍යාලෝක පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද අකුරටියේ නන්දසාර අනුස්මරණ පුස්තකාල ගොඩනැඟිල්ල විවෘත කිරීම සහ සංඝාවාසයට මුල් ගල් තැබීමේ පුණ්‍යෝත්සවය ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ඊයේ පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව නව පුස්තකාල ගොඩනගිල්ල විවෘත කිරීම සහ සංඝාවාසයට මුල් ගල් තැබීමේ අවස්ථාවට එක් විය.

    ඌණ භාවිතා පළතුරු හා පැළ රෝපණය කිරීම නිමිත්තෙන් විහාරස්ථාන පරිශ‍්‍රයේ නෙල්ලි පැළයක් රෝපණය කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මහාචාර්ය පූජ්‍ය අකුරටියේ නන්ද ස්වාමින් වහන්සේ විසින් රචිත ,මතක ඇතිදා සිට, ග‍්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    සෝමාවති රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශී‍්‍ර සුමංගල නායක ස්වාමින් වහන්සේ, ආචාර්ය බලංගොඩ සෝභිත නායක ස්වාමින් වහන්සේ, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේ, අග්ගමහා පණ්ඩිත පූජ්‍ය පල්ලත්තර සුමනජෝති නායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය දිවියායේ යසස්සි ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya