ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පුරාවිද්‍යා සහ කෞතුක වස්තු සංරක්ෂණයට පියවර

    ජූලි 08, 2016

    පුරාවිද්‍යා සහ  කෞතුක වස්තු සංරක්ෂණයට අදාළ පාර්ලිමේන්තු අණ පනත් ගෙන ඒම සම්බන්ධයෙන් ඉදිරි‍යේදී පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ඒ අනුව පුරා විද්‍යා සහ කෞතුක වස්තු සංරක්ෂණයට අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ ඊට අදාළව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමා දැනුවත් කරන ලෙස වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්, විෂය භාර අමාත්‍යවරයා වශයෙන් එම අවශ්‍යතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, පාර්ලිමේන්තු අණ පනත් මගින් අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීමට තමා කිසිසේත් පසුබට නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.


    පුරා විද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ  ඊයේ (07 ) පැවති ජාතික පුරා විද්‍යා සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පුරා විද්‍යාව අද වනවිට මුහුදු පුරා විද්‍යාව තෙක් සංවර්ධනය වී ඇති බවත් ලංකාවේ ද මුහුදු පුරා විද්‍යාව සම්බන්ධ පර්යේෂණ දැනටමත් ආරම්භ කර ඇති බවත් රටේ භූමි ප්‍රමාණය මෙන් විසි ගුණයක් අපට අයිති මුහුදු සීමාව පවතින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    මේ හරහා රටට ආර්ථික වාසි ලබාගත හැකි ක්‍රම පිළිබඳව ද ඉදිරියේ දී සොයාබැලිය යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා එමෙන් ම සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේදී පුරා විද්‍යාත්මක ක්ෂේත්‍රය නගා සිටුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් සොයාබැලිය යුතු බව ද අවධාරණය කළේය.

    සෑම වසරකම ජූලි මස 7 වැනි දිනට යෙදී ඇති ජාතික පුරා විද්‍යා දිනය හා එම දිනයෙන් ඇරඹෙන පුරා විද්‍යා සතිය නිමිති කරගෙන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජාතික පුරා විද්‍යා සමුළුව සංවිධානය කර  තිබේ.

    මෙහිදී දිවයිනේ විවිධ ප්‍රදේශවල පුරා විද්‍යාත්මක වටිනාකමික් යුත් ස්ථාන හා කෞතුක වස්තු සම්බන්ධ තොරතුරු ඇතුළත් ප්‍රකාශන 3ක් සහ දායාද වාර්ෂික සඟරාවෙහි 10 වැනි කලාපය සහ තවත් ග්‍රන්ථ දෙකක් එළිදැක්වීම ද සිදු කෙරිණි.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පුරාවස්තු පරිත්‍යාග කළ තැනැත්තන්ට තිළිණ ප්‍රදානයක් ද මීට සමගාමීව සිදු කෙරුණු අතර අද සිට ඇරඹෙන ජාතික පුරා විද්‍යා සතිය නිමිත්තෙන් පුරා වස්තු ආකෘති ප්‍රදර්ශනයක් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

    මීට අමතරව දිවයිනේ සියලුම පළාත්වල පුරා විද්‍යා නිලධාරීන්ගේ සහයෝගයෙන් මෙම ජාතික පුරා විද්‍යා සතිය තුළ ‘මත, දුර්මත හා යථාර්ථ’ නමින් පුරා විද්‍යාව සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ද ඊයේ සිට ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව් එම් බන්දුසේන, මහාචාර්ය සෙනරත් දිසානායක, ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුමිත් මානවඩු, ආචාර්ය තුසිත මැන්ඩිස්, ඇතුළු විද්වතුන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya