ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයට සිංගප්පූරුවේ දායකත්වය

    ජූලි 20, 2016

    ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය, පුළුල් කරණය, නවීකරණය හා තාක්‍ෂණික යවත්කාලීනය සඳහා දායකත්වය ලබා දීමට තමන් සූදානම් බව සිංගප්පූරු වරාය අධිකාරිය පැවසීය.

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු නිල සංචාරයේදී සිංගප්පූරු වරාය පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණු අවස්ථාවේ සිංගප්පූරු වරාය අධිකාරියේ දකුණු ආසියානු කලාපීය ප්‍රධාන විධායක නිලධාරී ඔං කිම් පොං (Ong Kim Pong) මහතා පෙන්වා දුන්නේ විශේෂයෙන්ම කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය නවීකරණය සම්බන්ධයෙන් තමන් දැනටමත් අධ්‍යයනය කර ඇති බවය.

    දකුණු ඉන්දියාවේ වරාය සමග ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ පැවති තුන්වන දකුණු ආසියා ඩයස්පෝරා සමුළුවේදී ප්‍රකාශ කිරීම සම්බන්ධව ප්‍රසාදය පළ කළ කිම් පොං මහතා, ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ වාසිය උපරිම වශයෙන් ලබා ගැනීම සඳහා මේ එක්වීම අතිශය ප්‍රතිඵලදායී බව සඳහන් කළේය.

    ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට පමණක් නොව, චීනය ක්‍රියාත්මක කරන  “එක් තීරයක් – එක් මාවතක්” වැඩ සැලස්මෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ද මෙමඟින් හැකිවන බව සිංගප්පූරු වරාය අධිකාරියේ ඉහළ පෙළේ නිලධාරීහු විශ්වාසය පළ කළහ.

    ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල සංවර්ධන සැලැස්ම සිංගප්පූරු සමාගමක් වූ සුබානා ජුරො ආයතනය විසින් සකස් කර ඇති හෙයින්, ත්‍රිකුණාමල වරාය සංවර්ධනය පිළිබඳව ද අදහස් ඉදිරිපත් කරන ලෙස සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සිංගප්පූරු වරාය අධිකාරී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

    වරාය මෙහෙයුම් කටයුතු සඳහා නවීන තාක්‍ෂණය සහ පරිගණක යොදා ගැනීම පිළිබඳව ද මෙහිදී වරාය අධිකාරියේ නිලධාරීහු අග්‍රමාත්‍ය වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිසට කරුණු පැහැදිලි කළහ. අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ප්‍රකාශ කළේ මෙම පරිගණකගත මෙහෙයුම් ඔස්සේ කාර්යක්‍ෂමතාව සහ ආරක්‍ෂාව ඉතා ඉහළ අගයක පවත්වාගෙන යා හැකි බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya