ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කැනඩා විදේශ ඇමැති ජනපති හමුවෙයි

    ජූලි 29, 2016
    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රඥාවන්ත නායකත්වය යටතේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනයට ගනු ලබන පියවර උදෙසා කැනඩා රජයේ පූර්ණ සහය ලබාදෙන බව කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩිඔන් (Stephane Dion) මහතා ප‍්‍රකාශ කළේය.
     
    මෙරටට පැමිණ සිටින කැනඩා විදේශ අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවේදී මේ බව සඳහන් කළේය.
     
    කැනඩා අග‍්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ (Justin Trudeau) මහතාගේ සුබපැතුම් මෙහිදි ජනාධිපතිතුමාට පිළිගැන්වූ කැනඩා විදේශ අමාත්‍යවරයා, මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්වූ පසුව මුණගැසුණු අවස්ථා කිහිපයේදීම ඉතා හරවත් කරුණු සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණු බවට කැනඩා අග‍්‍රාමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කළ බව පැවසීය.
     
    ශ‍්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ශක්තිමත් කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සවිමත් කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සිය ප‍්‍රසාදය පළකළ කැනඩා විදේශ අමාත්‍යවරයා, මෙරට සංවර්ධනයට සහය ලබාදෙන ලෙසට ජනාධිපතිතුමා කළ ඉල්ලීමට එකඟතාවය පළකරමින් සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘතීන් සඳහා ආධාර ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
     
    එමෙන්ම සුළු ව්‍යවසායකයින් බලගැන්වීමේ අරමුණෙන් සණස සංවර්ධන බැංකුව සමග එක්ව ව්‍යවසාය සංවර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද කැනඩා විදේශ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
     
    19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොම්ෂන් සභා පිහිටුවීම සහ ඒ මගින් ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීමට ගෙන ඇති පියවර පිලිබඳ ජනාධිපතිතුමා විසින් කැනඩා විදේශ අමාත්‍යවරයාට පැහැදිළි කරන ලද අතර අවතැන් පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ සහ අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීම සඳහා ගෙන ඇති පියවර ද ජනාධිපතිතුමා මෙහිදි පැහැදිළි කළේය.
     
    මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චිත‍්‍රාංගනී වාගීශ්වර, කැනඩාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කේ.ඒ ජවාඩ් (K.A Jawad) ශ‍්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ෂේලි විටින් (Shelley Whiting) ඇතුළු කැනඩා නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya