ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පසුගිය රජය රට ඇද දැමූ ආර්ථික අර්බුදයේ ප‍්‍රතිඵල දැන් මහජනතාවට විඳිමට සිදු වෙලා - ජනපති

    අගෝස්තු 03, 2016

    වේදිකාවල සුරංගනා කතා කියමින් මහපාරේ ඇවිද ගියද පසුගිය රජය රට ඇද දැමූ ආර්ථික අර්බුදයේ ප‍්‍රතිඵල දැන් මහජනතාවට විඳිමට සිදුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (02) කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේ පැවති ශ‍්‍රී ලංකා ආර්ථික සමුළුමේ සමාරම්භක උළෙල අමතමිනි.

    තව දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කළේ ශ‍්‍රී ලංකාව මේ වනවිට රුපියල් මිලියන 9000 ක ණය බරකින් පෙළෙන බැවින් දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ සියලූ මහජනයා මෙම ආර්ථික අර්බුදය තේරුම්ගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවය.

    සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලින් මේ වනවිට මෙරට ආර්ථිකයට ලැබෙන්නා වු දායකත්වය 8%-10% අතර මට්ටමේ පවතින බව ද එම මට්ටම 20% ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවේ නම් රටේ ජාතික ආර්ථිකය මීට වඩා ශක්තිමත් මට්ටමකට ගෙන ඒමට හැකි වන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    ණය බරකින් පෙලූනත් රජය විසින් මහජනතාව වෙත ලබාදෙන සහනාධාර කප්පාදු නොකරන බව කියා සිටි ජනාධිපතිතුමා සහනාධාර සඳහා වැය වන මුදල් සොයා ගැනීමට නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ නියත වර්ධනයක් ඇති විය යුතු බව ද කියා සිටියේය.

    මහජනතාවට බරක් නොවන ආකාරයට රාජ්‍ය මූල්‍ය කළමණාකරණය හා මූල්‍ය විනය පවත්වාගෙන යමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ සඳහා රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය එකට යමින් නව ගමනක් ආරම්භ කළ යුතු බව ද අවධාරණය කළේය.

    මෑත කාලයේ දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලින් රාජ්‍ය ආර්ථිකයට ලැබුණු දායකත්වය පිළිබඳව සතුටු විය නොහැකි බවත් ශ‍්‍රී ලංකාව වටා ඇති මහා සමුද්‍රයෙන් සහ මෙරට අනෙකුත් සම්පත් වලින් අප නිසි ප‍්‍රයෝජන ගන්නවාද යන ප‍්‍රශ්නය මතුවී ඇති බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

    මෙරට තිබෙන සම්පත් භාවිතයෙන් ආසියානු කලාපයේ ඉහළ මට්ටමේ රටක් බවට පත්වීමේ මෙතෙක් ඉටු නොවූ සිහිනය සාක්ෂාත් කර ගැනීමේ අරමුනින් ගැටලුවලින් ඔබ්බට ගොස් ඒවාට විසඳුම් සෙවීම සහ වචනයට සීමා නොවී ක‍්‍රියාත්මක වීම යන කරුණු පිළිබඳව ද මෙම සමුළුවේ දී අවධානය යොමු කෙරිණ.

    ‘‘අවධානය, ක‍්‍රියාත්මක වීම, ඉටුකිරීම’’ තේමාව යටතේ ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය 17 වන වරටත් සංවිධානය කර තිබූ මෙම ආර්ථික සමුළුව ඊයේ (02) සහ අද (03) දෙදින තුළ පැවැත්වේ.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී යන මහත්වරුන් ද ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සමන්ත රණතුංග ඇතුළු එහි සාමාජිකයින් ද දෙස් විදෙස් ව්‍යාපාරික ප‍්‍රජාව ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya