අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ තෙවැනි දින විවාදයට එක්වෙමිනි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පස්වරුවේ විවාදයට ගැනිණි.
මීට පෙර කතාකළ විපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවා ඔවුන්ට ගම්වල සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් ලබා නොදෙන බව. මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. 1989 ඉඳලා 1994 දක්වා විපක්ෂ මන්ත්‍රීවරියක් වශයෙන් මම කටයුතු කර තිබෙනවා. ඒ කාලයේ කිසිම සංවර්ධන යෝජනාවකට පැවති රජයෙන් අපට රුපියල් 10.00ක් වත් දීලා නැහැ. මම කියන්න කැමතියි අපේ රජයෙන් එජාපය ඇතුළු විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ටත් විමධ්‍යගත අරමුදලින් රුපියල් ලක්ෂ 50 බැගින් ලබා දෙනවා.
එදා එජාප ආණ්ඩුව රටේ භීෂණය වපුරමින් කොල්ලො කෙල්ලෝ 60,000ක් පමණ මරා දැම්මා මිසක් වෙන දෙයක් කළේ නැහැ. මගේ ගෙදරටත් බෝම්බ ගැහුවා. එදා නොකළ සංවර්ධන කාර්යයන් අද මේ රජය මඟින් ඉටුකරනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ දිළිඳු ජනතාව නගාසිටුවීමට රජය කටයුතු කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා 2005 රට භාර ගත්තේ සුනාමියෙන් අසරණ වී ආර්ථික බලාපොරොත්තු සිහිනයක් ව තිබූ යුගයකයි. අද ඒ තත්ත්වය නැහැ. 2012 පමණ දක්වා සියලු උපාධිධාරීන්ට ජනාධිපතිතුමා රැකියා ලබා දී තිබෙනවා. මේ රජය අද ජනතා ප්‍රසාදයට ලක් ව ඇත්තේ ඒ නිසායැයි අමාත්‍යවරිය පැවසුවාය.
NDH/HC