පින්නලන්ද වත්ත කේන්ද්‍ර කරගනිමින් පින්නවල අලි අනාථාගාරය ආරම්භවීමට පෙරාතුව 1960දී පමණ හම්බන්තොට ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් මෙවැනි අලි අනාථාගාරයක් ආරම්භ කොට ඇති නමුත් එම ප්‍රදේශයේ වියළි කාලගුණ තත්ත්වයත්, වසර පුරාම ආහාර හා ජලය ලබාගැනීමේ අපහසුවත් නිසා එය අඩපනව ගොස් ඇති අතර පසුව මේ සියලු පහසුකම්වලින් මෙන් ම රට මධ්‍යයට වන්නට ඇති මෙම ස්ථානය තෝරාගෙන ඇත්තේ මේ සියලු කාරුණාවන්ට පහසුතාවන් ඇති නිසාය.
එලෙසින් අලි පැටවුන් හත් දෙනෙකුගෙන් ඇරඹූ මෙම පින්නවල අලි අනාථාගාරය සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනුණේ 1982 දීය. පින්නවල අලි අනාථාගාරයේ පළමු අලි දරුවන්ගේ ඉපදීම සිදු වන්නේ මෙම පවරාදීමෙනුත් වසර දෙකකට පසුවදීය. 1984 වසරේ ජුලි 05දා පින්නවල අලි අනාථාගාරයේ කුළුදුල් අලි උපත සිදුවෙන්නේ සුකුමාලිගේ උපතනි. ඒ විජය නම් වූ අලියාටත්, කුමාරි නම් වූ ඇතින්නටත් දාවය. එසේ එදා අලි නිවහනේ කුළුදුලේ උපත ලැබූ මෙම සුකුමාලි මේ වන විට තුන් දරු මවකි.

වනාන්තරයේ මෙන් නොව අලි නිවහනේ දී නම් සතුන් වුවත් මොවුන්ට නම් වැඩ කරන්නට වන්නේ දින සටහනකට අනුවය. එනිසා සිතූ සිතූ දේවල් කිරීමට මොවුන්ට අලි නිවහනේ දී අවස්ථාවක් නොමැත්තේ ඒ තරම් පහසුතාවයන් ලබාදීමේ ඇති ගැටලු නිසාය. එහෙත් අවශ්‍ය උපරිම අයුරින් මොවුන් සඳහා පහසුකම් සපයන්නට මෙම අලි අනාථාගාරයේ 181ක කාර්යය මණ්ඩලයක් සේවයේ නිරත වෙමින් සිටි. පශු වෛද්‍යවරු 03දෙනෙක් සහ ඇත් ගොව්වන් 80ක් ද මීට අයත් වේ. සාමාන්‍යයෙන් පිරිමි පාර්ශවය විසින් කළ යුතු යැයි සම්මත රැකියාවක් වූවත් අලි රැකබලාගන්නාගේ කාර්යය අලි අනාථාගාරයේ දී නම් ගැහැණු පිරිමි කියා බේදයකින් තොරව සිදු කෙරේ. පරම්පරාවෙන් මෙන් ම පුහුණුවෙන් පසු බඳවාගැනීමේ කටයුතු සිදු කෙරෙන මෙම ඇත්ගොව්වාගේ තනතුරු 03ක් මේවන විට කාන්තාවන් විසින් දරුණු ලබයි.
දිනපතා පෙරවරු 8.00ත් පස්වරු 5.30ත් දක්වා විවෘත ව පවතින අතර මෙම ස්ථානය නැරඹීම සඳහා දේශීය වැඩිහිටියෙකුගෙන් රුපියල් 100ක් ද අවුරුදු 03ට වැඩි දරුවන් සඳහා රුපියල් 30ක් ද අයකෙරෙන අතර පාසල් දරුවන්ගෙන් අයකරනු ලබන්නේ රුපියල් 20කි. විදේශීය වැඩිහිටියෙකුගෙන් රුපියල් 2500ක් ද විදේශීය දරුවෙකු සඳහා රුපියල් 1250ක් ද අයකෙරුණ ද මෙහිදී සාක් කලාපීය විදේශිකයන් සඳහා සහනදායි මුදලක් අය කෙරේ. ඒ අනුව සාක් කලාපයට අයත් විදේශිකයෙකුගෙන් අයකරනු ලබන්නේ රුපියල් 700ක් පමණක් වන අතර ළමයින් සඳහා රුපියල් 350ක් අය කෙරේ.

මීට අමතර ව දිනක එක් අලියෙකු සඳහා පලතුරු ලබාදීමක් සිදු කෙරෙන අතර ඒ සඳහා අන්නාසි 40ක්, කොමඩු 105ක් සහ කෙසෙල් ගෙඩි 50ක් ද ලබාදීම සිදු කෙරෙන අතර ඒ සඳහා ද එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 250ක් අය කෙරේ.
අලියාගේ ශරීරයේ පවතින අධික උෂ්ණත්වය නිසා ජල අවශ්‍යතාවය ඉතා වැඩි බැවින් අලි නිවහනේ දී ඔවුන්ට දිනකට
දෙවරක් එම අවස්ථාව හිමිවන්නේ පින්නලන්ද වත්ත අසලින් ගලා බස්නා මා ඔය නිසාවෙනි. පෙරවරු 10.00 සිට මධ්‍යහ්න 12.00දක්වාත් පස්වරු 2.00 සිට 4.00දක්වාත් මොවුන්ට රිසිසේ ජල සුව විඳින්නට අවස්ථාව සලසා ඇත. මේ වන විට පින්නවල අලි නිවහනේ දිවි ගෙවන අලින්ගේ දෛනික ආහාර අවශ්‍යතාවය සපුරාගැනීමට ආහාර කිලෝ 16750ක් අවශ්‍ය වේ. එම ප්‍රමාණය පොල් අතු කිලෝ 3500ක්, කොස් අතු කිලෝ 3250ක්, කිතුල් කොට කිලෝ 5000ක් මෙන් ම අට්ටික්කා, බෝ, නුග, සියඹලා, පෝටා වැල් ආදි මිශ්‍ර අතු කිලෝ 3250ක් ද වශයෙනි.

කෙසේ වුවද පින්නවල අලි අනාථාගාරයක් ලෙස හැඳින්වුවත් එහි වෙසෙන්නේ මව් රැකවරණය අහිමි වූ මෙන් ම විවිධ ආබාධයන් ට ලක් වූ අලි ඇතුන් වුවත් එය ජාත්‍යන්තර කීර්තියට පත් අලි සංරක්‌ෂණාගාරයක් ලෙස අර්ථකථනය කළ යුතු ම වේ.
- දිල්හාරි බණ්ඩාර -