මෙම සමීක්ෂණය 2015 දෙසැම්බරයේ දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුද විසින් කාන්තාවන්ට පොදු ප්‍රවාහන බස්රථ හා දුම්රියවලදී මුහුණ දෙන්නට සිදුවන ලිංගික හිංසනය පිළිබඳ ජාතික සමීක්ෂණයක් පවත්වන ලදී. එහි අරමුණ වූයේ පොදු ප්‍රවාහනයේ දී සිදුවන ලිංගික හිංසනයන්ගේ ස්වභාවය, එහි අරමුණ හා සිදුවන ආකාරය පිළිබඳ සවිස්තර අවබෝධයක් ලබාගැනීම සඳහා ඉවහල් වන සමීක්ෂණ පදනම් වූ තොරතුරු ජනනය කිරීමයි.
ලොව පුරාම කාන්තිවෝ පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට මුහුණ දෙති. විවිධ ශාරීරික හා වාචික හිංසනයන් ලෙස සිදුවන මෙම ඇතැම් විට ස්ත්‍රී දූෂණය පවා විය හැකිය. එම නිසා කාන්තාවන් තැනින් තැනට යාම සීමා වේ. සමාජ ව්‍යුහයන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසමානතාවන්ගේ ගැඹුරද එමගින් පරාවර්තනය වේ. කාන්තාවන්ගේ හා ගැහැණු ළමුන්ගේ මූලික හිමිකම් හා නිදහස අහිමි කරනවාට අමතර ව, අනාරක්ෂිත වතාවරණයක් නිර්මාණය කිරීමට ද ඉවහල් වේ. එමගින් කාන්තාවන් හා ගැහැණු ළමයින් පොදු ජීවිතය තුළ රැකියාවන්ගේ හා අධ්‍යාපනයේ සම්පූර්ණයෙන් නිමග්න වීමද සිමා කරනු ලැබේ.
ශ්‍රී ලාංකිකයන් බහුතරයක් වඩාත්ම ලාභදායි ගමනාගමන විකල්පය ලෙස පොදු ප්‍රවාහනය යොදා ගනීත කෙසේ වෙතත් පොදු ප්‍රවාහනය වෙත පිවිසීමේ දි හා භාවිත කිරීමේ දී කාන්තාවන් හා පිරිමින් අතර කැපී පෙනෙන විෂමතාවක් තිබේ. කාන්තාවන් පිරිමින්ට වඩා පොදු ප්‍රවාහන සේවා මත යැපෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති අතර ම විශේෂයෙන් මෙය පහළ ආදායම් මට්ටම්වල කාන්තාවන් අතර දක්නට ලැබෙන්නක් බවද හඳුනාගෙන තිබේ.
ආර්ථික වශයෙන් සක්‍රීය විය හැකි වයසේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් රැකියාල නියුක්ත වී සිටින්නේ 34%ක් පමණ වන අතර ඒ පිළිබඳ හේතු ලෙස දක්වා තිබෙන කාරණා අතර පොදු ප්‍රවාහනයේ දී සිදුවන කාන්තා හිංසනයද කාන්තාවන් ආර්ථික කටයුතුවලට සහභාගිවීම වළක්වන ප්‍රධාන බාධාවක් ලෙස දක්වා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය අනුව "කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වු හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවීය යුත්තේය" යනුවෙන් සඳහන් වන අතර වසර 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 කොටස අනුව ද ලිංගික හිංසනය යනු දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි. මෙම කොටස අනුව ලිංගික හිංසනය යටතට ලිංගික ස්පරූපී පහරදීම්, සාපරාධී බලය යෙදවීම, හිංසනයට ලක්වන පුද්ගලයා කුපිත කිරිමට හේතුවන වචන හෝ ක්‍රියා අයත් වන බවද සඳහන් වේ.

ජාතික ප්‍රවාහන කොමිෂමේ සහකාර අධ්‍යක්ෂ ලක්ෂි සඳමිණි විජේන්ද්‍ර මහත්මිය පෙන්වාදුන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි වී ඇති රියදුරු හා කොන්දොස්තොර මහත්වරුන් වෙත තම කොමිෂම වෙතින් අදාළ හැඳුනුම්පත් ලබාදීමට කටයුතු කරන අවස්ථාවේ දී ඔවුන් විශේෂ පුහුණුවකට ලක්කරන අතර ම කාන්තා හිංසනයක් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ ව දැනුම්වත් කිරීමට කටයුතු කරන බවත්ය. එමෙන් ම පසුගිය වසර 2ක් තුළ ඔවුන්ගේ ක්ෂණික දුරකථන අංක 1955වෙත කාන්තා හිංසනයට අදාළව එකඳු පැමිණිල්ලක් හෝ ලැබි නොමැති බවත් සිසු සැරිය වැනි බස් සේවාවන් නිසි අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක වන බැවින් එම සේවවාන් තුළදී එවන් අකටයුත්තක් සිදුවීමට ඇති ඉඩ අවස්ථාව අල්ප බවයි.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සමීක්ෂණ ප්‍රතිඵලයන් අනුව 90%ක් ම දෙනා පවසා ඇත්තේ පොදු වහාන බස් හා දුම්රියවලදි ලිංගික හිංසනයට ලක්ව ඇති බවය. එම සමික්ෂණයට යොදාගත්තවුන් අතරින් 50%ක් දෙනා රැකියාව සඳහා ගමන් කිරීමට ද, 28%ක් දෙනා ඉගෙනුම පිණිස යාමට ද, 20%ක් දෙනා වෙනත් පෞද්ගලික අවශ්‍යතාවයන් සඳහා ගමන් කිරීමට ද පොදු ප්‍රවාහනය යොදාගෙන ඇත. මෙලෙස පොදු ප්‍රවාහන සේවාව තුළ මෙවන් ක්‍රියාවන් වැඩිපුරම සිදුවන්නේ වැඩි පිරිසක් පොදු ප්‍රවාහනය භාවිත කරනු ලබන උදෑසන හා සවස කාලය තුළ වන අතර මේ සඳහා පොදු ප්‍රවාහනයේ ඇති අධික තදබදය දායකත්වයක් සපයයි. එමෙන් ම ගමනාන්තය දක්වා ඇති දුර මෙන් ම ඒ සඳහා ගතවන කාලය ද මේ සඳහා සුළු බලපෑමක් ඇති කරයි.
පොදු ප්‍රවාහන සේවය තුළදි ලිංගික හිංසනයට කාන්තාවන් 92%ක් දෙනා ගොදුරු වුවද, නීතිමය බලධාරීන්ගෙන් කිසි විටෙක හෝ උපකාර පතා නැත. එසේ වීමට හේතුව ඇත්තේ පොලිසියට පැමිණිලි කිරීමට ඇති ප්‍රායෝගික අපහසුතාවය මෙන් ම එවන් කටයුත්තක් අධිකරණය තෙක් ගියවිටදී ඒ සඳහා තීන්දුවක් ලැබීමට දීර්ඝ කාලයක් ගතවීමත් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරගැනීමට නොහැකිවීමත් නිසා බොහෝ පිරිස් නීතිමය පියවර ගැනීමට නොපෙළඹවෙති. එමෙන් ම මෙම අවස්ථාවන් සඳහා මුහුණ දෙන තරුණ කාන්තාවන් හා ගැහැණු දරුවන් ඒ වෙනුවෙන් හඬක් නැඟීම සඳහා ඉදිරිපත් නොවන්නේ ඇති වන බිය මෙන් ම ඔවුන්ගේ නොදැනුවත්භාවය හේතුවෙන් බවත් නිශ්ශබ්ධතාවයට දෙන වැරදි අර්ථකථනය හේතුවෙන් බව එක්සත් ජාතීන්ගේ ජනගහන සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂිකා නීතිඥ උදේනි තෙවරප්පෙරුම මහත්මිය පෙන්වා දෙයි. එමෙන් ම මේ සඳහා මුහුණු දුන් කාන්තාවන්ගේ ඇති අත්දැකීම් හේතුවෙන් යම් යම් අවස්ථාවලදී කාන්තාවන්ට උදව් කිරීමට පුරුෂයින් ඉදිරිපත්වන අවස්ථාවන් පවා ප්‍රතික්ෂේප කරනු ලබයි. එහෙත් යම් අවස්ථාවන්හිදී ඔවුන් එසේ ඉදිරිපත් වන්නේ සත්භාවයෙන් වුවත් කාන්තාවට සිදුව ඇති හිංසනයන් හේතුවෙන් ඔවුන් පුරුෂයින් සියලු දෙනා සැකකිරීම මේ සඳහා හේතුවන බවත් තෙවරප්පෙරුම මහත්මිය පෙන්වාදෙයි.

ලංකාවේ පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් වූ ප්‍රවාහන ආඥාපනත අනුව නීතිමය වශයෙන් ගතයුතු සියලු ක්‍රියාමාර්ගයන් ගැනීම වෙනුවෙන් වූ අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය වී ඇති නමුත් ඒ පිළිබඳ ව පසු විපරමක් හෝ ඒ සම්බන්ධයෙන් අදාළ නිරීක්ෂණ කටයුත්තක් සිදු නොවේ. නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන විසින් ද මේ සම්බන්ධයෙන් නිසි ආකාරයෙන් කටයුතු නොකරන බවද ජාතික ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා පෙන්වා දෙයි.
නුදුරු අනාගතයේ දී හෝ කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවේදී සිදුවන ලිංගික හිංසනයන් අවම කරගැනීම වෙනුවෙන් ප්‍රවාහන සේවාව දියුණු තත්ත්වයකට ගෙනඒමට කටයුතු කළ යුතු අතර ම පොදු මුලපිරුම් විසින් අසල සිටින්නන්ගේ මැදිහත්වීම් දිරිගැන්විය යුතුය. අසල සිටින්නන්ට වඩා අවදියෙන් සිටිමින් කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට පොදු ප්‍රවාහන සේවාවලදි සිදුවන ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කර ගමනාගමන පරිසරය ආරක්ෂා කිරීමට දායක විය හැකිය.
කාන්තාවක හෝ වේවා පුරුෂයෙකු හෝ වේවා පොදු ප්‍රවාහන සේවාවන් තුළදී කාන්තාවකට සිදුවන ලිංගික හිංසනයන් දැක අහක බලාගැනීම වෙනුවට ඒ වෙනුවෙන් හඬක් නැඟීම හරහා ලිංගික හිංසනයන් සිදුකරන්නවුන් අපහසුතාවයට පත්කරමින් ඔවුන් අධෛර්යමත් කිරීමට කටයුතු කිරිම හරහා අනාගතයේ දී කාන්තාවන් පොදු ප්‍රවාහන සේවාව තුළදී ඉතා ආරක්ෂාකාරී තත්ත්වයට පත්කළ හැකිය. ඒ සඳහා සියලු ම කාන්තාවන් ඔබගේ මෑණියන්, සහෝදරිය, දියණිය කියා සිතා පොදු ප්‍රවාහනයේ ලිංගික හිංසනයට එරෙහිව නැඟි සිටිමු.........
- දිල්හාරි බණ්ඩාර -