ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ජර්මනියට අපනයනය බිලියන1ක් දක්වා වැඩි කිරීම අපේ අරමුණයි - විදේශ ඇමති

    සැප්තැම්බර් 22, 2015

    අපගේ අපනයන වලින් 5% කට පමණ හිමිකම් කියන ජර්මනිය, ලංකාවේ පස්වන විශාලතම අපනයන වෙළඳපල වන බවත් පසුගිය වසරේ අපගේ මුළු අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 824 ක් වන අතර ඉදිරි වසර කිහිපය තුල දී එය බිලියන 1ක් දක්වා වැඩි කිරීම අපේ අරමුණ බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

    ජර්මනියේ ෆෙඩරල් විදේශ අමාත්‍ය ආචාර්ය ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මෙයර් මහතා සමඟ අද (22) විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවති නිල සාකච්ඡාවෙන් අනතුරුව විදේශ අමාත්‍යවරයා විසින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයේ දී මේ බව පැවසීය.

     

    සමීප ආර්ථික සහයෝගීතාවය ප්‍රමුඛ කාර්යයක් වශයෙන් සැලකීමේ ලා ජර්මානු විදේශ අමාත්‍ය සමඟ එකඟතාවයක් ඇති වූ බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා පැවසුවේ දැන් වෝක්ස්වැගන් හා අනෙකුත් ජර්මානු සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා උනන්දු වන බැවින් මිට්ල්ස්ටෑන්ඩ් ඇතුළු අනෙකුත් ජර්මානු සමාගම් වෙත අප ආරාධනා කර සිටින්නේ මෙරට පැමිණ අප රටේ පුහුණු ශ්‍රමයෙන් හා නව රජයෙන් ප්‍රයෝජන ගන්නා ලෙසටත්, ඉන්දියාව පාකිස්තානය ආදී ශ්‍රී ලංකාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් පවත්නා රටවල් හා ඉන්දියන් සාගරයට මායිම්ව පිහිටි අනෙකුත් රටවල්වල නැගී එන වෙළඳපොළවල් සඳහා ප්‍රවේශය ලබාගන්නා ලෙසයි.

     

    මෙය ස්ටෙයින්මෙයර් මහතාගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය වන අතර 2015 මැයි මාසයේ දී විදේශ අමාත්‍ය සමරවීර මහතා බර්ලින් නුවර සංචාරයක නිරත විය.


     
    බර්ලින් සංචාරයෙන් අනතුරුව ගොඩනැගුණු සංවාදය අද උදෑසන යළි හමුවීමෙන් පසු තවදුරටත් වර්ධනය කරගැනීමට හැකිවූ බව පැවසූ සමරවීර මහතා ඒ අනුව, දෙරට අතර බහුවිධ ද්වීපාර්ශ්වීය සබඳතා වඩාත් ශක්තිමත් කරගැනීමටත් එහිදී එකඟතාවය පළ වූ බවත් අපගේ ඵලදායී සාකච්ඡා සහයෝගීතාවය වර්ධනය කරගැනීම සඳහා හඳුනාගත් ක්ෂේත්‍රයන් කෙරේ හා කෙටිකාලීන හා දිගුකාලීන සබඳතා පවත්වාගැනීම කෙරේ යොමු වූ බවත් කීවේය.

     

    තවදුරටත් අමාත්‍යවරයා එම මාධ්‍ය ප්‍රකාශයේ දී සඳහන් කළේ,


     
    “ජර්මානු විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට ද්වීපාර්ශවීය සංචාරයක් කරනුයේ වසර 11 කට පසුවය. ඔබගේ සංචාරය අප දෙරට අතර පවතින සමීප හා සුහද සබඳතාවය පිළිඹිඹු කරයි.


     
    ස්ටෙයින්මෙයර් මහතාණෙනි, ඔබ ලංකාවට පැමිණ සිටින්නේ අප රට ඉතා වැදගත් කාලපරිච්ඡේදයක් පසුකරමින් සිටින අවස්ථාවකදීය. ජනවාරි මස පැවති ජනාධිපතිවරණය හා 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්‍රජාතන්ත්‍රවාදය යලි තහවුරු කල අතර යහපාලනය සඳහා මග විවර කර දෙන ලදි. ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසංවිධානය සඳහා වූ මෙම ජනවරම අගෝස්තු මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී යලි තහවුරු කරන ලදි. ශ්‍රී ලංකාව දැන් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් නීතිය මත පදනම් වූ ආර්ථිකයක් හා දේශපාලනයක් කරා ගමන් කරමින් සිටී. ජර්මන් මොඩලය වශයෙන් ලංකාවේ ප්‍රචලිත ක්‍රමය මත පදනම්වූ නව මැතිවරණ ක්‍රමයක් ඇතුළත් නව ව්‍යවස්ථාවක් සඳහා මූලික පදනම ස්ථාපිත කරමින් සිටින අතර එමගින් සුළු ජාතීන්ගේ දිගුකාලීන ගැටළු විසඳීමට හා සමාන අවස්ථා සහිත සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ඇතිකිරීම සඳහා අවශ්‍ය පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරන ඇත්කිරීමට නියමිතය.


     
    ෆෙඩරල් ජර්මානු ජනරජය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් පාර්ශවකරුවකු වන අතර අපගේ සබඳතාවය ඉතා දිගු කලක් තිස්සේ පැවත එයි. අපගේ පොදු අගයන් මත පදනම්ව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ රජය විසින් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා සහ යහපාලනය ඇතිකිරීම, මානව හිමිකම් තහවුරු කිරීම හා දේශීය වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා වූ රජයේ සමස්ත අරමුණේ කොටසක් වශයෙන් වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කලෙමු. දේශීය ධාරිතාවය ගොඩනැගීමට හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා ජර්මනිය විසින් අප වෙත සහය ලබාදීමට එකඟ ව ඇති ක්ෂේත්‍රයන් රැසකි. වෘත්තීය පුහුණුව හා නිපුණතා සංවර්ධනය උදෙසා ඔවුන්ගේ දායකත්වය මෙහිලා මා විශේෂයෙන්ම සිහිපත් කරනු කැමැත්තෙමි. අද ඔබතුමා විසින් දැකගැනීමට යන කිලිනොච්චියේ ජර්මන් තාක්ෂණ ආයතනය උතුරු හා නැගෙනහිර පළාත්වල තරුණයන් හට විශාල අවස්ථා රැසක් උදාකරනු ඇත. මීට දශක 3 කට පමණ පෙර ස්ථාපිත කරන ලද කටුබැද්දේ ජර්මන් තාක්ෂණ ආයතනය ද එලෙසින්ම දකුණේ තරුණයන් හට විශාල පිටුබලයක් සැපයූ ආයතනයකි.


     
    සියළු මට්ටම් වලදී ඉහල, නිත්‍ය අන්තර් සබඳතා පවත්වාගෙන යාම සඳහා අප බලාපොරොත්තු වන අතර එමගින් වඩාත් ශක්තිමත් ජර්මානු ශ්‍රී ලංකා සබඳතාවක් ගොඩනැගීමට උපකාරී වනු ඇති අතර එමගින් අපේ රටට හා ජනතාවට විශාල ප්‍රයෝජන රැසක් අත්වනු ඇත.


     
    ස්ටෙයින්මෙයර් මහතා අද දින ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවනු ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡා මගින් දෙපාර්ශවයේම ප්‍රමුඛතා හඳුනාගත හැකිවනු ඇති අතර එමගින් දෙරට අතර පවතින සමීප හා මිත්‍රශීලි සබඳතාවය වඩාත් ඉහල ස්ථරයකට ගෙන යාමට වනු ඇතැයි අප අපේක්ෂා කරමු.“ යන්නයි

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya