ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දීය ධීවර ගැටලුව විසඳන්න ධීවර අමාත්‍යාංශයෙන් විශේෂ කාර්ය බලකායක්

    ඔක්තෝබර් 26, 2015
     
    ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී තමිල්නාඩු ධීවරයින් අනවසරයෙන් ඇතුළු වී සිදුකරනු ලබන මත්ස්‍ය සම්පත නෙලා ගැනීම සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සංවිධානය කරනු ලැබූ “විශේෂ කාර්ය බලකාය” නමින් සාකච්ඡාවක්  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වීය. 
    එම සාකච්ඡාව සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදාව, පොලීසිය හා උතුරු පළාතේ ධීවර සංගම් නියෝජිතයින් ඇතුළු ධීවර ක්ෂේත්‍රයට අදාළ සියලු ආයතන වල නිලධාරීන් පිරිසක් සහභාගි විය. 
     
    එහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ අපේ මත්ස්‍ය සම්පත අවු : 30 ට පමණ පෙර සිට ඉන්දියානු ධීවරයින් විසින් රැගෙන යන අතර, මෙම බෝට්ටු වල නියම අයිතිකාරයෝ වන්නේ තමිල්නාඩුවේ බොහෝ දේශපාලඥයන් බවයි. 
     
    නමුත් අපේ රටේ දී අත්අඩංගුවට පත්වන්නේ එරට අහිංසක මිනිස්සුන්ය. ඉන්දියානු ධීවරයින් සිරකළාට මෙම ගැටළුව විසදෙන්නේ නෑ. ඔවුන් සිදු කරන තහනම් පන්න ක්‍රමය වන බොටම් ට්‍රෝලිං ක්‍රමය නැවැත්වීමට පියවර ගත යුතු බවයි.
     
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ඉන්දියානු මධ්‍යම රජය අවධානය යොමු කරන්නේ ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට පත්වීමෙන් ඔවුන්ට ඇතිවන ප්‍රශ්න පිළිබඳවයි. නමුත්, මෙම ධීවරයින් අත් අඩංගුවට ගැනීම හෝ සිරකර තැබීමෙන් මෙම ප්‍රශ්ණය විසඳීමට නොහැකි බව  අමාත්‍යවරයා සඳහන් කරයි.
     
    දැනට ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දියානු ධීවරයින් සංඛ්‍යාව 87 ක් හා බෝට්ටු 47 කි. එම ඉන්දියානු ධීවරයින් නිදහස් කර ගැනීමට තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා මහත්මිය ඇතුලු එරට බලධාරීන් විවිධ උත්සාහ දරමින් සිටියි.
     
    මේ අතර, උතුරු පළාතේ ධීවර සංගම් විසින්  අත්අඩංගුවේ සිටින ඉන්දීය ධිවරයින් නිදහස් කිරීම වැරදි බව පවසන අතර ඉන්දීය බෝට්ටුවල ට්‍රෝලිං කොටස කපා හරින ලෙසත් ඉල්ලීම් කර ඇත.
     
    නාවික හමුදාව හා වෙරළාරක්ෂක නිලධාරීන් නිරන්තරයෙන් මුර සංචාරයේ යෙදෙන අතර, තිබෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නා බවද එම නිලධාරීන් සඳහන් කළහ.
     
    2010 වසරේ සිට මෙම ගැටළුව පිළිබඳව නිරන්තරයෙන් ඉන්දියානු මධ්‍යම රජය සමඟ සාකච්ඡා කළද, ස්ථීර විසඳුමකට එළඹීමට නොහැකි වූ බව, අදාළ නිලධාරීන් මෙහිදී අමාත්‍යවරයා වෙත කරුණු දක්වමින් කියා සිටියේය.
     
    උතුරේ ධීවර සංගම්වල ඉල්ලීම් පිළිබඳව මෙන්ම පැමිණ සිටි නිලධාරීන් විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ධීවර දෙපාර්තමේන්තුව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදාව, නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය සහ විද්වත් කීපදෙනෙකු ඇතුළුව උපකමිටුවක් පත්කර ඉතා කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස  අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
     
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya