එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර් තානාපතිනිය සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සෙනසුරාදා (21) සිදුකල මාධ්‍ය ප්‍රකාශය අතරතුර දී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයාගේ එම සම්පූර්ණ ප්‍රකාශය මෙසේය,
“සමන්තා පවර් තානාපතිනිය මෙම ඓතිහාසික රිපබ්ලික් ගොඩනැගිල්ලට මිවිසින් පිළිගනු ලබන්නේ ඉමහත් ගෞරවයෙනි. සියළු දෙනා දන්නා පරිදි, පවර් තානාපතිනිය, වසරක් තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි ජනපති ඔබාමාගේ කැබිනට් මණ්ඩලයේ දෙවැන්නියයි.
මා සිතන ආකාරයට ඇයගේ පැමිණීම අප දෙරට අතර අද වනවිට ගොඩනැගී ඇති විශිෂ්ඨ සබඳතාවය මැනවින් කියාපායි.
මෛත්‍රිපාල සිරිසේන පාලනයේ විදේශ අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමෙන් නොබෝ දිනකට පසු නිව්යෝක්හිදි මට පවර් මහත්මිය පළමුව මුණගැසිණි. එතැන් සිට අප ශක්තිමත් එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතාවයක් සඳහා අවශ්‍ය අඩිතාලම දැමීමට කටයුතු කලෙමු.
පවර් තානාපතිනිය සැමවිටම ශ්‍රී ලංකාවට හොඳ මිතුරියක් වූවාය. ඉතාමත් අපහසු කාලයන්හිදී පවා ඇය අප ජාතිය සතු ශක්තිය පිළිබඳව හා අප රටේ ජනතාව කෙරෙහි විශ්වාසය තැබුවාය.
ඒ අනුව, අද දින ඇයගේ පැමිණීම, අප රට හොඳම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහිත, සියළු පුරවැසියන්ගේ මානව හිමිකම් සුරකින, සමාජයේ පවතින බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික හා බහු භාෂිකත්වය අගය කරන, සාමකාමී, සංහිඳියාවෙන් යුත් සෞභාග්‍යමත් දේශයක් කිරීම සඳහා අප විසින් ජනවාරි 8 වන දින ආරම්භ කරන ලද වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා කරනු ලබන දිරිමත් කිරීමක් ලෙස අප සලකන්නෙමු.
අද වනවිට ශ්‍රී ලංකාව එහි භුගෝලීය පිහිටීම සම්බන්ධයෙන් පමණක් නොව අප රටේ ජනතාව විසින් උදාකරගෙන ඇති වෙනස්කම් හේතුවෙන් ද ලෝකයේ අවධානයට ලක්වී තිබේ.
අපගේ හමුවේ දී, මෙම වෙනස්කම් තුලින් සහ සාමකාමී මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ලාභාංශ තුලින් අප රටේ ජනතාවට ප්‍රතිලාභ අත් කර දීම තහවුරු කිරීම සඳහා එක්ව කටයුතු කිරීම පිළිබඳව හා ද්වීපාර්ශ්වීය වෙළදාම හා ආයෝජනය හරහා දෙරට අතර හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරගත හැකි ආකාරය පිළිබඳ සාකච්ඡා කලෙමු.
ජාතියක් වශයෙන් අප විසින් ඉදිරියට යාම සඳහා තෝරාගෙන ඇත්තේ අභියෝගාත්මක මාවතකි. අපට තවත් බොහෝ දුර යා යුතුව ඇති අතර අප විසින් දිනාගත් දෑ වැඩිදියුණු කරන බවට හා අප ජනතාවගේ සිහින සැබෑ කරන බවට තහවුරු කිරීම සඳහා අපට ජාත්‍යන්තරයේ සහයෝගය අවශ්‍යව ඇත්තේ ප්‍රථම වරටය. අද දින අප අතීතයේ සැක සංකා වලින් තවදුරටත් අධෛර්යමත් නොවෙමින් අපගේ සිතුම් පැතුම් අනුව අපගේ අනාගතය නිර්මාණය කරන්නට මුල පුරා ඇත්තෙමු.
ශ්‍රී ලංකා වෙත පැමිණීම සම්බන්ධයෙන් මා සමන්තා පවර් තානාපතිනියට බෙහෙවින් ස්තූතිවන්ත වන අතර එක්සත් ජනපද - ශ්‍රී ලංකා සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට ද මා බලාපොරොත්තු වෙමි. අවසන් වශයෙන් මා පවර් මහත්මිය ඇතුළු ඇයගේ කණ්ඩායමට ප්‍රීතිමත් ශ්‍රී ලංකා සංචාරයක් ප්‍රාර්ථනා කරනු කැමැත්තෙමි.“