ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මියන්මාරයේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම් වෙළඳපොළ ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කරගැනීමේ නව සැලැස්මක්......

    මාර්තු 29, 2016
    මියන්මාරයේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම් කොළඹ වරාය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන නැව්සේවා සමාගම් සඳහා 10%  වට්ටමක් ලබාදීමට වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අනුමැතිය හිමිවේ. 
    ඒ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඒ සඳහා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි. දිනෙන් දින වර්ධනය වන නැගෙනහිර ඉන්දියාව, බංග්ලාදේශය සහ මියන්මාර කලාපය ආශ්‍රිත ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම කොළඹ වරාය වෙත ආකර්ෂණය කර ගැනීම මෙහි මූලික අරමුණයි. සමස්තයක් වශයෙන් ගත්විට නැගෙනහිර ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම පසුගිය දශක දෙකේදී සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. 2015 වර්ෂයේදී එහි වර්ධන අගය දැක්වුණේ සමස්ත ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුමෙන් 67.8% ලෙස වේ. එහිදී මෙම කලාපයේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුමේ වැඩි ප්‍රතිශතයක් මේ වනවිට හිමිකරගෙන සිටින්නේ සිංගප්පූරු වරායයි.
     
    මීට අමතරව සාපේක්ෂව ගැඹුරින් වැඩි ඉන්දියාවේ මුන්ඩ්රා, JNPT, Hazira, සහ කොචින් වැනි වරාය ආශ්‍රිතව ඉන්දියාවේ බටහිර වෙරළ හා බැඳි ප්‍රතිඅපනයන බහළුම් බෙදීයාමේ ප්‍රවණතාවක්ද මේ වනවිට වර්ධනයවෙමින් පවතී. Vizhinijam වරාය ප්‍රතිඅපනයන බහළුම් මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියේදී සාර්ථක වුවහොත් බටහිර ඉන්දියාව, පාකිස්ථානය සහ ගල්ෆ් කලාපයේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුමේ කිසියම් ප්‍රතිශතයක් ඔවුන්ටද හිමිවනු ඇත.
     
    එම තත්ත්වය කොළඹ වරායේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුමට තර්ජනයක් විය හැකිබව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිරීක්ෂණයයි. මේ හේතුවෙන් නව වෙළඳපොළ කෙරෙහි යොමුවීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ. මියන්මාර වෙළඳපොළ දිනාගැනීම සඳහා මූලික සැලසුම් ක්‍රියාත්මක කිරීම එහි මුල් පියවරයි.
     
    මියන්මාරය යනු මේ වනවිට ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකරන රටකි. එරට පවතින යහපත් දේශපාලන වාතාවරණය හේතුවෙන් නව ආයෝජන අවස්ථා සඳහාද එරට රජය යොමුවෙමින් පවතී. එම වෙළඳපොළ ඉලක්ක කර පසුගිය වසරේදී මියන්මාරයේ යන්ගොන් වරාය සහ කොළඹ වරාය කේන්ද්‍ර කරගනිමින් පෝෂක සේවාවක්ද (Feeder Services) ආරම්භ කෙරිණ. 
     
    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අපේක්ෂාව වන්නේ එකී මියන්මාර වෙළඳපොළ තවදුරටත් ආකර්ෂණය කරගැනීම උදෙසා ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුමේදී  10% ක වට්ටමක් නැව් සේවා සමාගම් වෙත ලබාදීමටයි. නැව් සමාගම් කළ ඉල්ලීම්හි ප්‍රතිඵල ලෙස එම වට්ටම ලබාදීම ඉක්මන් කෙරිණ. ඒ සඳහා අනුමැතිය ලබාදෙමින් වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ වරාය සහ නාවික ක්ෂේත්‍රයේ දියුණුවට මේ වනවිට ව්‍යාපාරික සැලැස්මක් හඳුන්වාදෙමින් සිටින බවයි.
                                                                                                                               
    “1995 වසරේදී නැගෙනහිර ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම උදෙසා 10% ක වට්ටමක් නැව් සේවා සමාගම් වෙත ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලබාදුන්නා. එය එදා ගත් සාර්ථක තීන්දුවක්. අද අපි උත්සාහ කරන්නේ නැගෙනහිර ඉන්දියාව සහ බංග්ලාදේශයේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුමේදී නැව් සේවා සමාගම් වෙත ලබා දුන් 10% ක වට්ටම මියන්මාරය දක්වා වූ කලාපයටත් ලබා දීමටයි. 
     
    එමගින් අපගේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇතැයි අපි විශ්වාස කරනවා. 2014 වර්ෂයේදී කොළඹ වරාය මෙහෙයවූ  මියන්මාර ප්‍රතිඅපනයන බහළුම් ප්‍රමාණය 2,108 ක්. එය 2015 වර්ෂයේදී 14, 687 දක්වා වැඩි වුණා. මේ නිසා වෙළඳපොළ ගැන අපට ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මේ යෝජනාව ගෙන ආවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ කළමනාකාරිත්වය. අද අපි එහි ඉහළ තනතුරු  සඳහා සුදුසු පුද්ගලයින් පත්කර තිබෙනවා. ඔවුන් තීරණගන්නේ ජාත්‍යන්තර වෙළඳපොළෙහි ප්‍රවණතා ගැන සහ රට ගැන සිතා මිසක් දේශපාලන අවශ්‍යතා මත නෙමෙයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය වසරේදී ලැබූ සාර්ථකත්වයේ රහසත් එයයි.....” යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
     
    මෙම අනුමැතිය ලබාදීමේ සාකච්ඡාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වැඩබලන සභාපති ආචාර්ය ප්‍රසන්න පෙරේරා, කලමනාකරණ අධ්‍යක්ෂ එච්. ඩී. ඒ. එස්. ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ද සහභාගි වූහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya