ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ආර්ථිකය ගොඩනැගීමේ අභියෝගය භාර ගන්නවා - මුදල් ඇමැති

    මාර්තු 31, 2016

    ආර්ථිකය ගැන අතීතයට දෝෂාරෝපණ කිරීමෙන් ප්‍රථිඵලයක් නැති බවත්  එය යළි ගොඩනැගීමේ අභියෝගය රජය භාරගෙන තිබෙන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    ඒ මහතා ප්‍රකාශ කළේ ජනතාව විශ්වාසනීයව භාර දුන් රට විනිවිධභාවයකින් යුතුව ඉදිරියට පවත්වාගෙන යෑම රජයේ ප්‍රධාන අභිලාෂය වන බවයි.

    මුදල් අමාත්‍යාංශයේ නව ගොඩනැගිලි සංකීරණය අද (31) විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.
     
    රටේ තියෙන සීමිත සම්පත් ජනතාවගේ අසීමිත අවශ්‍යතා වෙනුවෙන් ලබා දෙමින් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කරවීම මුදල් අමාත්‍යාංශයෙන් කළ යුතුව තිබෙන බව ද පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය. “2005 ජනවාරි මාසෙ ආණ්ඩුව වෙනස් වෙන අවස්ථාවේ මේ රට නිදහස ලබා ගත් දා සිට ඒ දක්වා තිබුණ ණය බරතාවය රුපියල් කෝටි එක්ලක්ෂ අසූ දාහක්. 2015 ජනවාරි 8 වෙනි දා නව ආණ්ඩුවක් බලයට පත් වන විට ඒ ණය ප්‍රමාණය රුපියල් කෝටි නව ලක්ෂ අසූ පන්දාස් අටසීයයි.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2009 අප්‍රේල් මාසෙ පළමු වැනිදා එමිරෙට්ස් සමාගමෙන් ගන්නකොට ලාභය රුපියල් මිලියන 9,100යි. අද කෝටි එක්ලක්ෂ හැත්තැ අටදාස් හාරසීයක් පාඩුයි. මේ ණය විතරයි. තව තියෙනව මේ ශේෂ පත්‍රයට ගෙනාපු නැති ණය ප්‍රමාණයක්. මේ කිසිම බරක් ජනතාවට දෙන්නෙ නැතුව සාමාන්‍ය විදියට රටේ ආර්ථිකය ඉදිරියට අරගෙන යන එක තමයි අපට කරන්න තියෙන්නෙ. ‍

    අද විවෘත කළ ගොඩනැගිල්ලේ වර්ග අඩියක් හදන්න රුපියල් 31,000ක් ගිහින් තියෙනවා. තරු 5 හෝටලයක් හදන්න යන්නෙත් වර්ග අඩියකට රුපියල් 12,000ක් වැනි මුදලක්. රුපියල් සීයෙන් කරන්න පුළුවන් දේට ලක්ෂයක් වියදම් කරල අද අපෙන් අහනවා විශ්වකර්ම ආර්ථිකයක් ගැන. දවසකින් දෙකකින් නෙවෙයි, මාස තුන හතරක් දෙන්න කරල පෙන්නන්න. ලෝකයේ විවිධ රටවල් ආශිර්වාද ලබා ගනිමින්, මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලක්ෂ 10ක් ලබා දෙන්න යන ගමනේ දී විවිධ අයුරින් ඊට බාධා එල්ල වෙනවා. බෝඩ් ලැලි එල්ලගෙන සටන් පාඨ කිවුවා ම රට සංවර්ධනය වෙනව නම් අපිත් ඒදේ කරනවා. ඒත් ඒකෙන් වෙන්නෙ රට අගාධයට යන එක විතරයි.

    අද මේ කතා කරන මොහොතේත් ආයෝජන ඕනෙ තරම් රටට ගලාගෙන එනවා. ගිය අවුරුද්දෙ අපට රුපියල් කෝටි 20,000ක් අපට හොයා ගන්න පුළුවන් වුණා. අපි රටේ තියෙන සියලු ආර්ථික කරුණු පිළිබඳ දවසින් දවස කතා කරනව. කතා කරල විවිධ තීන්දු තීරණ ගන්නවා. අප්‍රේල් මාසෙ පළමු වැනිදා සිට මේ මුදල් අමාත්‍යාංශයට එන සෑම ලිපි ගොනුවකට ම වැඩ කරන පැය 48ක කාලයක් තුළ ඒකට පිළිතුරක් ලබා දෙනවා කියල  සතුටෙන් දැනුම් දෙන්න කැමැතියි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් ලබා දෙන ආදර්ශය එතැන් සිට පහළට ක්‍රියාත්මක කරන්න අපි බැඳී සිටිනවා"


    මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිසාද් බදියුදීන්, නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන්, මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මැති ඇමතිවරුවරුන් එක්ව සිටියහ.

    මීට අමතරව ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, ආර්ථික කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක ආර්.පාස්කරලිංගම්, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් වන එස්.ආර්.ආටිගල,  චන්ද්‍රා ඒකනායක,  මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ජී.සුමනසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya