ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අගමැති චීනයේදී බැංකු තුනක ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරයි

    අප්‍රේල් 07, 2016

    චීන මහජන සමූහාණ්ඩුවේ නිල ආරාධනයක් මත බෙයිජිං නුවර සංචාරයක නිරත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පෙරවරුවේ ආසියානු ආයෝජන සහ යටිතල පහසුකම් බැංකුව, චීන සංවර්ධන බැංකුව සහ එක්සිම් බැංකුව යන ආයතනයන්හි ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා වාර පැවැත්වීය.


    ආසියානු ආයෝජන සහ යටිතල පහසුකම් බැංකුවේ වැඩබලන සභාපති සහ ලේකම් ශ්‍රීමත් ඩැනී ඇලෙක්සැන්ඩර්, චීන සංවර්ධන බැංකුවේ සභාපති හූ හුඅයිබං සහ එක්සිම් බැංකුවේ සභාපති ලියු ලිඅන්ගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සමඟ සිදු කළ මේ සාකච්ඡාවන්හි දී, ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සඳහා සහය ලබා ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිණි.

    ආසියාවේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කරලීමේ ශ්‍රී ලංකා ප්‍රයත්නය වෙනුවෙන් ලබා දිය හැකි උපරිම සහය ලබා දෙන බව මේ නිලධාරීහු ප්‍රකාශ කළහ.

    ලබන ජූලි මාසයේදී ආසියානු ආයෝජන සහ යටිතල පහසුකම් බැංකුවේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචරය කිරීමට ද මෙහිදී එකඟත්වය පළ කෙරිණි. එම සංචාරයේ දී ශ්‍රී ලංකා බලධාරීහු සමඟ සාකච්ඡා කර අවසන් නිගමනයනට එළැඹෙනු ඇත.

    ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා චීන ව්‍යවසායකයන් දිරි ගැන්වීමේ ක්‍රියාන්විතයක් දියත් කරලීමට ද බැංකු නිලධාරීහු ක්‍රියා කරනු ඇත. චීන සංවර්ධන බැංකුවේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ද ඔවුන් සැලසුම් සකස් කරනු ඇත.

    වර්තමානයේ ශ්‍රී ලංකාව යහපත් ආර්ථික වර්ධන ක්‍රියා පිළිවෙතකට එක් වී තිබීම සම්බන්ධව සිය ප්‍රසාදය පළ කළ බැංකු නිලධාරීහු අනාගතයේ ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දෙමින් ක්‍රියා කරන බව ද අවධාරණය කළහ.

    විදේශ අමාත්‍ය මංගල සමරවීර, ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ අමාත්‍යංශයේ අතිරේක ලේකම් රංජිත් උයන්ගොඩ, එක්සත් ජාතික පක්‍ෂයේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධීකාරක මහින්ද හරදාස යන මහත්වරුන් ද මේ සාකච්ඡාවන්ට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya