ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නීති විරෝධී ක‍්‍රම ඔස්සේ රට රැකියාවට යන්න එපා - නියෝජ්‍ය ඇමැති මනූෂ නානායක්කාර

    ජූලි 09, 2016

    රැකියා සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී පිටත්ව යන පුද්ගලයින් සම්බන්ධයෙන් වගකීමට කිසිවෙක් බැදී නොමැති බවත් නීති විරෝධී ක‍්‍රම ඔස්සේ රැකියා සදහා පිටත්ව නොයා යුතු බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ගාල්ල දිස්ත‍්‍රික් කාර්යාලයේදී පැවති විදෙස් රැකියා සංවර්ධන නිලධාරී හමුවකට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය.

     

    විදෙස් ගත ශ‍්‍රමිකයින් සදහා වන සුභසාධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අදල මූලික කටයුතු සාකච්ඡා කිරීමට මෙම හමුව පැවැත්විණි. එම වැඩසටහන යටතේ රුපියල් මිලියන 300ක් ගාල්ල දිස්ත‍්‍රික්කයට ලබාදීමට නියමිතය.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීවේය. කාලයට පෙර අපේ රටට විදේශ විනිමය ගෙන ආ ප‍්‍රධාන මාර්ගය බවට පත්ව තිබුණේ තේ, පොල් හා රබර් අපනයනයි. ඉන් පසුව එය ඇගලූම් බවට පත්වුනා. දැන් රටට විදේශ විනිමය ගෙන එන ප‍්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව තිබෙන්නේ විගමණික ශ‍්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල්.

     

    විදෙස් රැකියා සංවර්ධන නිලධාරීන් විදේශ ගතවන පුද්ගලයින් විදෙස් ගතවීමට සුදුසු දැයි සොයා බලා පවුල් පසුබිම් වාර්තාව නිකුත් කරනවා. ඔබ පවුල් පසුබිම් වාර්තාව ප‍්‍රතික්ෂේප කළ පසුව රට යන්න බලාගෙන ඉන්න කාන්තාව රටේ ඉන්නවාද කියලා බලන්න. ඔබලා රට යා යුතු නැති කාන්තාවන් කවුද කියලා නිර්දේශ කරනවා. පවුල් පසුබිම් වාර්තාවෙන් නිර්දේශ නොකළත් රට යන්න  ඕන වුනොත් වැරදි ක‍්‍රමයට හරි රට යනවා. කූඨ උපක‍්‍රම භාවිතා කරමින් ඇතැම් අය රට යනවා. එ් නීති විරෝධී කටයුතු වැලැක්වීමට අපි පියවර ගෙන තිබෙනවා. විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී නීති විරෝධී ආකාරය විදේශ රැකියා සදහා පිටත්ව යන අය ගැන කවුරුවත් වග කියන්නේ නෑ. රැකියාව කරන අතරවාරයේදී කිසියම් ගැටලූවක් ඇතිවුවහොත් එයට විසදුම් ලබාදීමට කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ.

     

    ඉදිරියේදී විදේශ ශ‍්‍රමිකයින්ට විශ‍්‍රාම වැටුපක් ලැබෙන විට මොවුන්ට එ්වා ලැබෙන්නේ නෑ. එ් නිසා නීති විරෝධී ක‍්‍රම ඔස්සේ රට රැකියාවට යන්න එපා. පවුල් පසුබිම් වාර්තාව යොදාගෙන විදේශ ගතවීමට නුසුදුසු අය රට යැවීම වැලැක්වීමට අපි නිති ගෙනවිත් තිබෙනවා. එ්ත් නීති විරෝධී මාර්ගයක් ඔස්සේ මොවුන් විදේශගතවෙලා තිබෙනවා. එවැනි තත්වයක් තුළ මේ වගේ නීති ගෙන එ්මේ ප‍්‍රයෝජනයක් තිබෙනවාද කියලා අපිට හිතෙනවා.

     

    රජයක් ලෙස අපි කාන්තාවන් විදේශ රැකියා සදහා, ගෘහ සේවිකාවන් ලෙස විදේශගතවීම් හැකි තාක් අඩු කිරිමට කටයුතු කළ යුතුයි. නුපුහුණු ශ‍්‍රමිකයින් වෙනුවට පුහුණු ශ‍්‍රමිකයින් යැවිය යුතුයි. කාන්තාවන් විදේශ රැකියා සදහා යොමු කිරීමට දිරිගන්වනවා වෙනුවට ගමේ සිටින පිරිමි අය විදේශ රැකියාවලට යොමු කිරීමට දිරි ගන්වන්න. එය ඔබේ රාජකාරියක් බවට පත් කරගන්න. ගමේ ගෑනු අයෙක් රට යන්න ආවාම ඔයා වෙනුවට ඔයාගේ මහත්තයා රට යවන්න කියලා කියන්න. පිරිමි අය සදහා තිබෙන විදේශ රැකියා අවස්ථා මොනවාද යන්න ගැන අපි ඔබව දැනුවත් කරන්නම්.

    විදේශ රැකියා ප‍්‍රවර්ධන නිලධාරීන් ලෙස අපි නිලධාරීන් පත් කර තිබෙනවා. පුලූවන් තරම් පිරිමි අය විදේශ රැකියා සදහා යැවීමෙන් ඇතිවන ප‍්‍රශ්ණ අඩු කරගත හැකියි. අද වන විට රැකියා සදහා පිටත්ව යන කාන්තාවන්ගේ ප‍්‍රතිශතය සියයට 40ට අඩුවෙලා තිබෙනවා. මෙය තවදුරටත් අඩු කරගැනීමට කටයුතු කළ යුතු වෙනවා. කාන්තාවන් රැකියා සදහා පිටත් කිරිම අඩු කිරිම මගින් ඇතිවන සමාජ ප‍්‍රශ්න පවුල් ප‍්‍රශ්න අඩු කරගැනීමට හැකියි.

     

    රට රැකියාව අවසන් කර ආපු අයගේ ආර්ථිකය තරමක් ශක්තිමත් වෙනවා. ගෙවල් දොරවල් හොදට හදාගන්නවා. ත‍්‍රීවිල් එකක් ගන්නවා. එ්ත් ටික කාලයක් යන විට අලූත් ආදායම් මාර්ගයක් සොයා ගැනීමට කටයුතු නොකරන නිසා එ්වා උකස් තබමින් හෝ විකුණා දමනවා. නැවත වරක් පරණ තත්වයට පත්වෙලා නැවත රට රැකියාවට යනවා. නැතිනම් කාන්තාවන් රට සිට එවන මුදල් මත්පැන් සදහා වියදම් කර මුදල් නාස්ති කරනවා. සමහර අය රට රැකියාවෙන් මුදල් සොයාගෙන ලංකාවේ කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කරන බව සිතාගෙන එනවා. ඒත් ඔවුන්ට උපකාර කිරිමට ක‍්‍රමවේදයක් නැහැ. ඒ නිසා විදේශගත ශ‍්‍රමිකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුභසාධනය වෙනුවෙන් අපි වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරනවා. ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු අපි සම්පාදනය කරනවා. ස්වයං රැකියා සදහා උපකාර කරනවා. විදේශ රැකියාවෙන් ලැබෙන ආදායම මූලික ප‍්‍රාග්ධනය බවටපත් කරගෙන දීර්ඝ කාලීනව තමන්ගේ ජීවන තත්වය ඉහළ නංවාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල අපි ක‍්‍රියාත්මක කරනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya