ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අපේ මාධ්‍යවේදීන්ට ලබාදියහැකි හැමදේම ලබාදෙනවා ” ජනමාධ්‍ය අමාත්‍ය

    අගෝස්තු 15, 2016
    “ අපේ මාධ්‍යවේදීන් අතර සමඟිය නැහැ. මම ඒක අත්දැකීමෙන්ම දන්නවා. පසුගිය යාපනය සංචාරය සඳහා මා සමග මාධ්‍යවේදීන් ගිය අවස්ථාවේ  ඒ ගමනට එක්වූ විවිධ මාධ්‍ය සංවිධාන වල විවිධ අසමඟිකම් තිබුනු බව මම දැක්ක. මම දේශපාලනය කරන කෙනෙක් හැටියටවත් කා එක්කවත් එහෙම තරහක් නැහැ. අපි පක්ෂ හැටියට විවිධ ප්‍රතිපත්ති වල සිටිනව තමයි.  අපි හිනාවෙලා කතා කරල සුහදත්වයෙන් කටයුතු කරනව පාර්ලිමේන්තුව තුලත්. රජය හැටියට අපට කලහැකි දේ කරල මාධ්‍යවේදීන් ඉහලට ගෙන එන්න  අප උත්සාහ ගන්නවා. එහෙත් ඇතමුන් ඒවාට විවිධ අර්ථකථන දෙන්න හදනවා. පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කරන දෙය, ප්‍රවෘත්තිය පාලනය කලේ එක තැනකින්. නමුත් අද එහෙම පාලනයක් නැහැ. මාධ්‍ය නිදහස හොඳින් හිමිව තිබෙනවා. කවුරු කොහොම මොන අර්ථකථන දෙන්න හැදුවත් අපේ මාධ්‍යවේදීන්ට ලබාදියහැකි  හැමදේම අපි ලබාදෙනවා ” යැයි  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
    තොරතුරු දැනගැනීමේ පණත පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජනමාධ්‍ය අමාත්‍යංශය හා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය එක්ව සංවිධානය කල මෙම වැඩමුළුව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරිනන්ද දොඹගහවත්ත යන මහත්වරුන් ද එක්ව සිටි අතර එහිදී ඇමති ගයන්ත තවදුරටත් මෙසේද කීය.
     
    “ ලෝකයේ හත්වැනි හොඳම තොරතුරු දැනගැනීමේ පණත අපට හැකිවුනා මේ රටට හඳුන්වා දෙන්න. ඒ මගින් කාටත් යහපතක් වෙන ආකාරයට අපි ඒක කලා.අද විද්‍යුත් මාධ්‍ය වලටත් යම් නියාමනයක් අවශ්‍යයි කියල විද්‍යුත් මාධ්‍ය ඉල්ලනවා. ඒ විතරක් නොවෙයි දැන් අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ මාධ්‍ය පුහුණු ඇකඩමියක් පිහිටවීමටයි. ඒකට විදේශ ආධාර ලබාදෙන්න පවා ඉදිරිපත්වෙලා තිබෙනවා. අද අපේ රටේ මාධ්‍ය වාර්තා කිරීමේදී ඒ වාර්තා කරන දෙය නිවැරදිව වෙනවද කියන කාරණය ගැන හිතන්න වෙලා තිබෙනවා. මම පසුගිය සතියෙ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියපු කාරණයක් සහමුලින්ම වෙනත් අර්ථයක් එන අයුරින් ඇතැම් මුද්‍රිත මාධ්‍ය වාර්තාකර තිබුණා.මම කිව්ව අපේ රජය විසින් විදේශ වලින් ලබාගන්නා ණය වලට ගෙවන පොළිය 5% යි  නමුත් පසුගිය රජය ඒ ණය අරන් තිබුනේ ගිණි පොළියටයි කියල. නමුත් ඇතැම් මුද්‍රිත මාධ්‍ය වාර්තාකර තිබුනේ ඒ රජය අරන් තිබුනේ බිලියන 05 ක ණය කියලයි. අන්න එවන් මාධ්‍ය වාර්තා අපි දකිනවා.මාධ්‍යවේදීන්ට පුලුවන් තමන්ට ඕනෑම ආකාරයේ මත ඉදිරිපත් කරන්න. නමුත් ඉන් සමාජගතවන දෙය පිළිබඳව හොඳ අවධානයක් එය ඉදිරිපත් කිරීමට පෙර ඇතිකරගත යුතුයි.”
     
    “ දේශපාලනය කරන්න පුලුවන්. නමුත් මාධ්‍යවේදීන් තමන්ගේ වාර්තාකරණයේදී තමන්ගේ දේශපාලන මතය ඇඟට නොගෙන  එය ඉස්මතු නොකොට ජනතාවට හරි තොරතුරු දීමයි කලයුතු වන්නේ. ගාල්ලේ ජවසම්පන්න දක්ෂ මාධ්‍යවේදීන් පිරිසක් ඉන්නවා. සුනාමි වාර්තා කරණයේදී ගාල්ල මුලු ලෝකයේම අවධානයට නතු වුණු දිස්ත්‍රික්කයක් වුනා. නිවාස නොමැති ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් එක් දිස්ත්‍රික්කයක නිවාස 25ක් බැගින් ඉදිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතා සමග මම සාකච්ඡා කරල එකඟතාවයකට ඇවිත් තිබෙනවා. ඉදිරියේදී එය ක්‍රියාත්මක කරනවා.”
     
    මෙහිදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරිනන්ද දොඹගහවත්ත යන මහත්වරුන් ද විශේෂ දේශණ ඉදිරිපත් කල අතර ඒවා ප්‍රායෝගික මාධ්‍ය වාර්තාකරණය, මාධ්‍යවේදීන්ගේ වාර්තාමය ගැටලු හා න්‍යායාත්මක කරුණු ඔස්සේ සිදුකෙරිනි.
     
     මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින්  ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 100ක් පමණ එක්වූහ. මෙහිදී ඒ සියලු මාධ්‍යවේදීන් වෙත සහතික ප්‍රදානයක් ද සිදුකෙරිනි.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya