ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව අධ්‍යාපනයෙන් ප්‍රමුඛස්ථානයෙහි පැවතීම සතුටක් - යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්

    අගෝස්තු 22, 2016

    දකුණු ආසියානු කලාපීය රටවල් අතර අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයට පත්ව සිටීම පිළිබඳ යුනෙස්කෝ සංගමය වෙනුවෙන් තමා සතුටට පත්වන බව යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඉරිනා බොකෝවා මහත්මිය පැවසුවාය.

    එමෙන් ම ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් නිරන්තර ගුරු පුහුණු අවස්ථා නිර්මාණය කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීම යටතේ ගෙන ඇති පියවර පිළිබඳවද  සිය ප්‍රශංසාව පළ කළාය. මීපේ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ  පැවති  විශේෂ අධ්‍යාපන සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පසුගියදා එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

    ඵලදායී ගුරු සංවර්ධනයක් හරහා ගුණාත්මක අධ්‍යාපනයක් යන්න තේමා කරගනිමින් මෙම අධ්‍යාපන සමුළුව ‍සංවිධානය කර තිබුණේ ජාතික අධ්‍යාපන ආයතනයයි.

    සාමය සහ සහයෝගිතාව තුළින් තිරසාර සංවර්ධනයක් රටක් තුළ ඇති කිරීමේ දී අධ්‍යාපනයට විශාල කාර්යභාරයක් පැවරෙන බවත්, එහි දී සමාජය සවිබලගන්වන්නට සුවිශේෂ හැකියාව ගුරුවරුන් සතුව පවතින බවත්, මේ නිසා ගුරුවරයාට ප්‍රමුඛත්වය ලබාදීම රටක අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් කළ යුතු අත්‍යවශ්‍ය ම කාර්යය බවත් විසින් මෙහිදී අවධාරණය කළ බොකෝවා මහත්මිය කලාපීය රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළ සාක්ෂරතා මට්ටමක සහ දරුවන්ගේ පාසල් පැමිණීම අතින් ඉහළ  මට්ටමේ සිටීම සම්බන්ධයෙන් ද සිය ප්‍රසාදය පළ කළා.

    නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනය නගාසිටුවීම සම්බන්ධ රජය විශේෂයෙන් මැදිහත්ව සිටින බවත් ඉහළ ගුණාත්මක අධ්‍යාපනයක් රටේ සියලු දරුවන්ට ලබාදීමේ ඉලක්ක සාක්ෂාත් කරලීම වෙනුවෙන් ජාතික මට්ටමින් මැදිහත්ව සිටින බවත් මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

    වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන අයිතිය රටේ සියලු දරුවන්ට ලබාදීමටත්, ‘’ළඟම පාසල -හොඳම පාසල’ ජාතික වැඩසටහන යටතේ රටේ පාසල් පද්ධතිය සංවර්ධනය කිරීමටත් වත්මන් රජය පියවර ගෙන ඇති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට නම් දක්ෂ, කාර්ය ශූර පුහුණු ගුරුවරුන් පාසල් පද්ධතියට එක් ව සිටිය යුතු බව ද පෙන්වා දුන්නේය.

    ඉදිරි වසර පහ ඇතුළත රටේ සියලුම ගුරුවරුන් පුහුණු ගුරුවරුන් බවට පත්කිරීමේ ඉලක්කය සාක්ෂාත් කිරීමට ද අපේක්ෂා කරන බවත් මේ සඳහා යුනෙස්කෝ, යුනිසෙෆ් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන හරහා ලබාදෙන සහයෝගය ද අගය කළ අමාත්‍යවරයා, අධ්‍යාපනයේ ආංශික වර්ධනය හරහා තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම තම අපේක්ෂාව බවත් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් ඩබ්ලිව් එම් බන්දුසේන, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශීය සහ විදේශීය විද්වතුන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya