ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    එජා සංවිධානය අප ගැන මනා විපරමිකින් පසුවෙනවා - අමාත්‍ය මහින්ද සමරසිංහ

    සැප්තැම්බර් 06, 2016
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් බෑන් කී මූන් මහතා පසුගිය දා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී එතුමා විසින් කළ ප්‍රකාශයන් අනූව එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව පිළිබඳ ව මනා පසු විපරමකින් ඉන්නා බව පැහැදිලිවන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    සංහිඳියාව ඇති කිරීමේ කටයුත්ත එක් රැයකින් සිදු කළ නොහැකි බව, 2009 වසර හා සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ සුබවාදී තත්ත්වයක් දක්නට ඇති බව, 19වැනි සංශෝධනය සිදු කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම වැනි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් පෙන්වා දුන් කරුණු ගත් කළ ඔවුන් අප පිළිබඳ ව පසු විපරමකින් ඉන්නා බව තහවුරු වන බව මෙහිදී අමාත්‍යවරයා විසින් පෙන්වා දුනි. 
     
    එමෙන් ම සංහිඳියාව කරා ගමන් කිරීමේ කාර්යය ඉක්මනින් කළ නොහැකි යන මතයේ වත්මන් රජය ද පසුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පුළුල් දේශපාලන අවබෝධයකින් එම ගමන යාමේ කටයුතු රජය විසින් ආරම්භ කොට ඇතැයි ද පැවසීය.
     
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරු මීට ඉහත දී ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවලදී රාජ්‍ය අනුග්‍රහය ඇති ව අමාත්‍යවරුන් විසින් ම විරෝධතාවන් සිදු කළ බවත් වත්මන් රජය යටතේ එවැන්නකට කිසිඳු ඉඩ අවස්ථාවක් නොවන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එම අවස්ථාවන්වලදී රජයක් ලෙසින් වගකීමකින් කටයුතු නොකළා යන්න ඔවුන් අවබෝධ කරගෙන සිටින බවත් පෙන්වා දුනි.
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පක්ෂය අත්හැරීමට ඇති අකමැත්ත පසුගිය දා පැවැති 65වැනි සංවත්සරයට පැමිණි ජන ගඟෙන් අවබෝධවන වන බවත් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පක්ෂය සමඟ සිටින බවත් මාධ්‍යවේදියෙකු නැඟු පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීය.
     
    පසුගියදා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට පහරදීම සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න ඉදිරිපත් විය. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ මැලේසියානු තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවා රජයේ මතය මෙන් ම අප්‍රසාදය ද පළ කර ඇති බවත් මේ වන විටත් ඒ සඳහා සම්බන්ධ පුද්ගලයන් 05දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට එරෙහිව මැලේසියානු රජය කටයුතු කරමින් පවතින බවත්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya