එට්කා ගිවිසුම අත්සන් කිරීමට පෙර අදාළ යෝජනාවලිය සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, එක්සත් ජාතික පක්ෂය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ ,සිවිල් සංවිධාන සහ වාණිජ මණ්ඩලවල එකගතාවය අනුව එය ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක වූ රාජ්‍ය අමාත්‍යවරයා,
ලෝකයේ කිසිදු රාජ්‍යයකට හුදෙකලාව දියුණු විය නොහැකියි. දියුණුව ළඟා කර ගැනීමට නම් විවිධ රාජ්‍යයන් සමඟ වෙළෙඳ කටයුතු ආරම්භ කළ යුතයි. ලොව දියුණු රටවල් ආර්ථිකය හා වෙළෙඳාම සම්බන්ධයෙන් ගිවිසුම් දහයක් - දොළහක් ක්‍රියාත්මක කරනවා. ගිවිසුම් අත්සන් කරන්නේ වෙළෙඳ පොළ සහිත රටවල් සමඟයි, ඒවාට අදාළ නීති රීති තිබෙනවා. පෞද්ගලික මත අනුව එවැනි ගිවිසුම් වලට එළඹෙන්න බැහැ. ඒ වගේම මේ ගිවිසුම් අධීක්ෂණය කිරීම සඳහා ලෝක වෙළෙඳ සංවිධාන තිබෙනවා. වේගවත් ආර්ථික වර්ධනයක් ලබා ගත හැක්කේ මෙවැනි මාර්ග වලින් පමණයි.ලෝක ආර්ථික ප්‍රවණතා පිළිබඳ අවධානයෙන් බැලුවම ඒක පැහැදිළිව හදුනා ගත හැකියි.
කණගාටුවට කරුණ අපේ රටේ සමහර උගතුන් පවා මේ ගැන දැන දැනත් ජනතාව තුල වැරදි මතයක් ඇති කිරීමයි. තවත් සමහර පිරිස් දේශපාලන වාසි මුල්කරගෙන මේ රටේ ආර්ථික සංවර්ධනය කඩාකප්පල් කරන්න එට්කා විරෝධයක් පෙන්නනවා. ගිවිසුමේ කොන්දේසි පිලිබඳ කිසිදු විමර්ශනයක් නැතිව සමහර වෘත්තියවේදීන් රැකියා වෙළඳපොළ ඉන්දියාවට විවෘත කරන බවට බොරු චෝදනා නගනවා. එහෙම කොන්දේසි තියනවා නම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න අපිට පුළුවන්. අපේ රජය ආර්ථිකය සංවර්ධනය කරන්න කටයුතු කරන්නේ අහිංසක ජනතාවගේ මුදල් කොල්ල කාලා හෝ රට පවා දීල නෙමෙයි, කියන කරණය මම අවධාරණය කරන්න කැමතියි.
එට්කා හරහා අපේ රටේ වෘත්තියවේදීන්ට වගේම නිෂ්පාදන වලටත් වෙළඳපොළක් නිර්මාණය වෙනවා. ලංකාවට සාධනීය ලක්ෂණ නැති, රට විනාශ කරන කිසිදු ගිවිසුමකට රජය කිසි විටෙක එළඹෙන්නේ නැහැ කියන කරණය මම වගකීමෙන් කියනවා. ලංකාව පමණක් නොව ඉන්දියාව සමඟ චීනය, ඇමරිකාව, ජපානය, නෙදර්ලන්තය වැනි රටවල්ද වෙළඳ සහ තාක්‍ෂණික ගිවිසුම් වලට එළඹී තිබෙනවා. ගෝලීය ආර්ථික රටාව තුල මෙවැනි ගිවිසුම් සමාන්‍ය බවත්, එබැවින් එට්කා ගැන වැරදි මතයක් ඇති කිරීම වැරදි බවත් පැවසු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා, රටේ ජනතාව අතේ මුදල් ගැවසෙන ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට පක්ෂ පාට භේද නොතකා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් එකතුවන ලෙස සියලු දෙනාට ආරාධනා කරන බවද වැඩි දුරටත් පැවසීය. වෙන්නප්පුව, ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.