ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    දුරස්ථ ග්‍රහණ ආසියානු සමුළුව හෙට සිට

    ඔක්තෝබර් 16, 2016

    වාර්ෂිකව පවත්වනු ලබන දුරස්ථ ග්‍රහණ ආසියානු සමුළුව (Asian Association on Remote Sensing)  ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) සිට ලබන 21 දක්වා කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වේ.

    මෙවර සමුළුව “තිරසාර සංවර්ධනය සඳහා අවකාශීය දත්ත යටිතල ව්‍යුහය” යන තේමාව යටතේ පැවැත්වේ. ආසියාවේ සියලුම රාජ්‍යයන්හි දුරස්ථ ග්‍රහණය පිළිබඳ විද්වතුන් එක් රැස්වී තමන් විසින් එම ප්‍රගුණ කරගත් දැනුම අනිකුත් සමාජිකයින් අතර බෙදා ගැනීමේ අරමුණින් මෙම සමුළුව පැවැත් වේ.

    එනම් චන්ද්‍රිකා ඡායාරූප, ගුවන් ඡායාරූප, චන්ද්‍රිකා භාවිතයෙන් පිහිටීම නිශ්චය කරගැනීම (GPS) භාවිතයෙන් අවකාශීය දත්ත පිළියෙල කිරීම හා එම දත්ත භාවිතයෙන් විවිධ සිතියම් සකස් කිරීම හා එම තොරතුරු ආශ්‍රිතව පරිසර කළමනාකරණය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ.

     තවද ජෛව විවිධත්ව හා සංරක්ෂණය, දේශගුණික විපර්යාස අවම කිරීම් ආදිය සඳහා පර්යේෂණ කිරීම තුළින් විශේෂයෙන්ම ආසියානු රටවල ස්ථිරසාර සංවර්ධනය ස්ථාපනය කිරීමේ දී පැන නගින විවිධ පාරිසරික ගැටලු සහ ආපදා අවම කර ගැනීම සඳහා යොදා ගත හැකි භූ අවකාශීය තාක්ෂණය ආදී විෂයන් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

    මෙවර සමුළුවේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇති අතර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් මෙම සමුළුව සංවිධානය කෙරේ. සමුළුවේ සභාපතිවරයා ලෙස සර්වේයර් ජනරාල් පී.එම්.පී.උදයකාන්ත මහතා නිල බලයෙන් පත් කෙරේ.

    ආසියාවේ 37 වෙනි වරට හා ශ්‍රී ලංකාවේ සිව්වැනි වතාවට පැවැත්වෙන මෙම සමුළුවේ අරමුණ වන්නේ තොරතුරු හුවමාරුව තුළින් දුරස්ථ ග්‍රහණ ප්‍රවර්ධනය සහ ආසියානු ෆැසිපික් කලාපයේ සාමාජික රටවල් අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය හා අන්තර්ජාතික අවබෝධය ප්‍රවර්ධනය කිරීමය.

    වෘත්තිකයින්, පර්යේෂකයින්, විද්වතුන්, විද්‍යාඥයින්, කර්මාන්ත ව්‍යාපාරිකයින්, දුරස්ථ ග්‍රහණ තාක්ෂණය භාවිතා කරන්නන් සහ ඒ හා සම්බන්ධ ක්ෂේත්‍ර අතරට නවතම අවකාශීය තොරතුරු තාක්ෂණයන් හඳුන්වාදීම ද  මෙම සමුළුව හරහා සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ සිදුවන කඩිනම් සංවර්ධන වැඩසටහන් වේගවත් කිරීමට උපකාර කරගත හැකි මෙම  තාක්ෂණයන් අතරට මැනුම් දත්ත රැස්කිරීමේ නව ක්‍රමවේදයන්ද හඳුන්වා දීමට අවස්ථාවක් ලබා දී ඇත.

    තීරණ ගැනීමේදී සහ සංවර්ධන සැලසුම් කිරීමේදී යාවත්කාලීන කරන ලද අවකාශීය තොරතුරු පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.

    එමෙන්ම අවකාශීය තොරතුරු සම්බන්ධයෙන් සලකා බැලිය යුතු තවත් වැදගත් කරුණක් වන්නේ හදිසි ආපදා අවස්ථාවලදී මෙම තොරතුරු  හුවමාරු කරගැනීමේ හැකියාවයි.  මෙහිදී තොරතුරු  හුවමාරු කරගැනීමේ අරමුණින් ආයතනික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම හා වෘත්තිකයන් අතර වඩා යහපත් සහයෝගීතාවයක් වැඩි දියුණු කිරීම හරහා ප්‍රජාවට වඩාත් යහපත් සේවාවක් සැපයීමේ ප්‍රවණතාවයන් හදුනාගැනීම ද මෙම සමුළුව හරහා සිදු කිරීමට අපේක්ෂිතය.

    මෙම අවස්ථාවට ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ඇතුළු දුරස්ථ ග්‍රහණ විෂයය සම්බන්ධ දෙස් විදෙස් විද්වතුන් 600 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya