ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඒඩ්ස් පැතිරීම වැළැක්වීමට වැඩසටහන් රැසක්

    නොවැම්බර් 11, 2016

    HIV/AIDS පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත විශේෂ වැඩසටහන් රැසක් දියත් කර තිබේ. මේ පිළිබඳව ජාතික ලිංගාශී‍්‍රත රෝග මර්දන වැඩසටහන විසින් ක‍්‍රියාත්මක කරන විවිධ වැඩසටහන් රාශියක් වේ.

    දැනට ඒඩ්ස් ආසාදනය මනාව පාලනය කළ රටක් හැටියට ශ‍්‍රී ලංකාව සළකනු ලබන අතර, එහි ප‍්‍රවණතාවය ජනගහනයෙන් සියයට 0.03 පමණ වේ.

    එලෙස ප‍්‍රධාන අවදානම් කණ්ඩායම වන ලිංගික ශ‍්‍රමික කාන්තාවන්, පිරිමි සමලිංගිකයන් සහ එන්නත් මගින් මත්ද්‍රව්‍ය ලබාගන්නන් යන කණ්ඩායම් වල ද ඒඩ්ස් පැතිරීමේ ප‍්‍රවණතාවය ද සියයට 1 කටත් වඩා අඩු වේ. මෙම තත්ත්වය තවදුරටත් අඩු කර ගැනීම සදහා අවශ්‍ය ක‍්‍රියාමාර්ගයන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම අනුව ජාතික ලිංගාශ‍්‍රීත හා ඒඩිස් රෝග නිවාරණ ව්‍යාපාරය මගින් සයලුම අංශ ආවරණය වන සේ වැඩසටහන් ක‍්‍රියාත්මක කරයි. ඒ සඳහා මධ්‍යම ආණ්ඩුවෙන් පමණක් මිලියන 600 ක් පමණ වසරකට වැය කෙරේ.


    ඇස්තෙමින්තු අනුව ශ‍්‍රී ලංකාවේ දැනට ඒඩ්ස් ආසාදිතයන් 4200 ක් පමණ ජීවත් වේ. මේ වනවිට සොයාගෙන ඇති ඒඩ්ස් ආසාදිත සංඛ්‍යාව 2502 ක් වේ.

    ඔවුන් අතුරින් 495 ක් මියගොස් ඇති අතර, සොයාගත් අයගෙන් දැනට ජීවත්වන සංඛ්‍යාව 2097 ක් පමණ වේ. ඒ අනුව ඇස්තමේන්තු ගත ප‍්‍රමාණයෙන් සියයට 50 ක් පමණ සොයාගත යුතුව ඇත.

    මෙම සොයාගත් අයගෙන් ප‍්‍රතිකාර වලට යොමු වී දැනට ප‍්‍රතිකාරවල රඳා පවතින්නේ 1000 ක් පමණ වේ. මොවුන්ගෙන් කොටසක් විදේශ රටවල ප‍්‍රතිකාර සදහා යොමු වී ඇති අතර, තවත් කොටසක් ප‍්‍රතිකාර මඟහැර සිටි. මොවුන් සඳහා ලබාදෙන ඖෂධ විශේෂඥ වෛද්‍යවරුන් විසින් නොමිලයේම රජයේ සායන වලින් ලබාදීම සිදු වේ. ඒඩ්ස් ආසාදිතයින් සඳහා සිදු කරන පරීක්ෂණ ද නොමිලයේ රජයේ සායන වලින් සිදු කෙරේ.


    එමෙන්ම ඒඩ්ස් ඇතුලු ලිංගිකව සංපේ‍්‍රෂණය වන රෝග මර්දනය සහ ප‍්‍රතිකාරවලට රාජ්‍ය සහ පළාත් සභාවලින් රුපියල් මිලියන දහසක් පමණ වසරකට වෙන් කෙරේ.

    මෙයින් කොටසක් ගෝලීය අරමුදලෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන වලින් ලැබේ.
    ඒඩ්ස් ආසාදිතයන් සොයා ගැනීමට නම් රුධිර පරික්ෂණයක් සිදු කළ යුතු වන අතර, ඒඩ්ස් වෛරසය රුධිරයට ඇතුලුවීමෙන් පසුවත් අවුරුද්දකට වැඩි කාලයක් ගත වන තුරු දැනෙන තරම් විශේෂිත රෝග ලක්ෂණ ඇති නොවන නිසා ඒ පිළිබඳව සැකයක් ඇතිවන සැම අවස්ථාවකම රුධිර පරික්ෂණයක් සිදු කළ යුතු වේ.

     2015 වසරේ දී ඒඩ්ස් රුධිර පරීක්ෂණ 10,000  පමණ සිදුකර ඇති අතර, මෙම පරික්ෂණ තවදුරටත් වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩසටහන් රාශියක් සිදුකරමින් පවතී.

    මවගෙන් ළදරුවාට ඒඩ්ස් සම්පේ‍්‍රෂණය වීමෙන් ද දැනට ළමයින් 80 ක් සොයාගෙන ඇත. මෙම තත්ත්වය තුරන් කිරිම සඳහා අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිටත් ගෙන සිදුකරමින්  යන අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සහතික කිරීම ද 2017 හෝ 2018 සිදු කිරීමට නියමිතය. ඒ අනුව සියලුම ගර්භනී මව්වරු ඒඩ්ස් රුධිර පරික්ෂණවලට යොමු කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය 2013 වසරේ සිට පටන්ගෙන මේ වනවිට සියයට 80 ක පමණ ප‍්‍රගතියක් ලබාගෙන ඇත. ඒඩ්ස් ආසාදිත වන්නන්ගෙන් ළදරුවාට සම්පේ‍්‍රෂණය වීම ගර්භනී සමයේ හෝ ප‍්‍රසූතියේ දී හෝ මව්කිරීදීමේ දී සිදුවිය හැකි සම්භාවිතාව සියයට 40 හෝ 50 වන අතර ගර්භනී අවස්ථාවේ දී හෝ ඊට පෙර එම තත්ත්වයන් සහ අදාළ සම්පේ‍්‍රෂණයන් ඖෂධ මගින් වළක්වා ගත හැක.

    මවගෙන් ළදරුවාට ඒඩ්ස් සම්පේ‍්‍රෂණයවීම තුරන් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක බොහෝ දුරට ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති අතර, එය සහතික කර ගැනීමට අවශ්‍ය කටයුතු කරගෙන යමින් පවතී. එමගින් සියයට 100 ක් ඒඩ්ස් ආසාදනයෙන් තොර ළමා පරපුරක් ශ‍්‍රී ලංකාවේ අනාගතයේ දී බිහි කළ හැක.

    පසුගිය වසර කිහිපයේ දී ඒඩ්ස් ආසාදිතයින් වාර්තාවීම දෙස බැලීමේ දී 2010 වර්ෂයේ 121 ක් ද, 2011 වර්ෂයේ 146 ක් ද, 2012 වර්ෂයේ 186 ක් ද, 2013 වර්ෂයේ 196 ක් ද, 2014 වර්ෂයේ 228 ක් ද, 2015 වර්ෂයේ 235 ක් ද, 2016 සැප්තැම්බර් මස වනවිට 193 ක් ද වේ.


    ශ‍්‍රී ලංකාවේ ඒඩ්ස් සම්පේ‍්‍රෂණය සියයට 95 ක් පමණ  සිදුවන්නේ අනාරක්ෂිත ලිංගාශ‍්‍රීත සම්බන්ධවලින් නිසා එසේ වැඩිපුර එම ක‍්‍රියාවන්ගේ යෙදෙන අය වන කාන්තා ලිංගික ශ‍්‍රමිකයන්, පිරිමි සමලිංගික සේවයේ යෙදෙන අය සහ මත්ද්‍රව්‍ය එන්නත් මගින් ලබාගන්නා අය සදහා වැඩිපුර වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන් රාජ්‍ය නොවන සංවිධාන හා එක්ව සිදුකෙරේ. මෙහිදී ඔවුන් කොන් කිරීම වැළැක්වීම සඳහා ද වැඩසටහන් ක‍්‍රියාත්මක කෙරේ. එහිදී ඔවුන් ඒඩ්ස් පිළිබදව දැනුවත් කිරිම, සායනවලට ගෙන්වා ගැනීම, ඔවුන් ඒඩ්ස් සඳහා පරීක්ෂා කිරීම, උපදේශණය කිරීම, හඳුනාගත් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සහ පසු විපරම් කිරීම, ඔවුන්ට අවශ්‍ය කොන්ඩම් නොමිලේ ලබාදීම. පොලීසිය හා ත‍්‍රීවිධ හමුදාව ඇතුළු කණ්ඩායම් පුහුණුකරුවන් ලෙස පුහුණුකර එමගින් එම ක්ෂේත‍්‍රවල සේවයේ යෙදෙන කණ්ඩායම දැනුවත් කිරිම ක‍්‍රමවත්ව සිදුකෙරේ.

    තව ද දැනට වාර්තා වී ඇති ඒඩ්ස් ආසාදිතයින්ගෙන් සියයට 40 ක් පිටරටක කුමන හෝ රැකියාවක නියුතු වී ඇත. එම නිසා පිටරට රැකියා සඳහා යන පිරිස් සඳහා පුහුණු වැඩසටහන් ක‍්‍රියාත්මක කරන ලද අතර, එය මේ වසරේ දී යාවත්කාලීන කර පුහුණුකරුවන් පුහුණු සිදු කරන ලදි. එම පුහුණුවට අදාළ සීඩි තැටි ලබාදීමට ද පියවර ගෙන ඇත. වැඩිහිටි පාසල් ළමුන්, විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීම ද නොකඩවා සිදුකරමින් පවතී. මෙම වැඩසටහන් දිවයින පුරා පිහිටි ලිංගාශි‍්‍රත සායන 30 ක් සහ ශාඛා සායන 20 ක් මගින් සිදුකෙරේ. මෙම දිස්ත‍්‍රික් සායන සඳහා දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂඥ වෛද්‍යවරු 16 ක් පත් කර ඇති අතර, ඉදිරි වසර 02 තුල සියලුම සායන සදහා විශේෂඥ වෛද්‍යවරු පත්කිරිමට හැකිවනු ඇත.

    2030 දී ලොකයේ ඒඩිස් අවසන් කිරීමේ වැඩපිළිවෙළක් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධිත සැළැස්ම යටතේ ප‍්‍රකාශයට පත් කර ඇති අතර, එමගින් අදහස් කරන්නේ ජීවත්වී සිටින එචි.අයි.වී ආසාදිතයින් සියයට 90 ක් සොයාගැනීමත්, සොයාගත් අයගෙන් සියයට 90 කට ප‍්‍රතිවෛරස ඖෂධ ලබාදිමත්, ඖෂධ ලබාදෙන අයගෙන් සියයට 90 කගේ රුධිරයේ ඒඩ්ස් සාන්ද්‍රණය අවම කර ගැනීමත් යන ඉළක්ක 2020 දී ළඟා කර ගැනීමේදී ඒඩ්ස් ආසාදිතයින් ඒඩ්ස් තත්ත්වයට පත්වීම වැළැක්වීමෙන් ඒඩ්ස් 2020 දි ලෝකයෙන් තුරන් කිරිමය. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්නායකයන් ඉදිරිපත් කර ඇත. එම නිර්නායකවලට  2025 දී ශ‍්‍රී ලංකාව ළඟාවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කර ඇත. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉහත ක‍්‍රියාමාර්ග ගනු ලබයි.

    -සෞඛ්‍ය අමාත්‍යාංශය-

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya