මාදැල් කර්මාන්තය ආශ්‍රිතව පැනනැගී ඇති ගැටළු වලට නිශ්චිත විසදුම් ලබාදී කර්මාන්තය රැකගැනීම උදෙසා කළ හැකි සියල්ල සිදු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය.
දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේ මාදැල් කර්මාන්තයේ නිරත පාරම්පරික ධීවර ජනතාවට විවිධ ආයතන වලින් එල්ල වන ගැටළු රැසකට මුහුණදීමට සිදුව ඇති බැවින් එම ගැටළු වලට කඩිනමින් විසදුම් ලබා දිය යුතුව ඇති බවය.
සමස්ථ ලංකා මාදැල් හිමියන්ගේ සමුපකාර සමිතියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා මේ බව සදහන් කළේය.
මාදැල් හා වෙරළබඩ ධීවර කර්මාන්තයේ වර්තමානයේ පැනනැගී ඇති ගැටළු සදහා තිරසාර ප්‍රායෝගික විසදුම් ලබා දීමට කටයුතු කිරීමේ බලය හිමිවී දින කිහිපයක් තුළ තමන් කැදවා මෙවැනි පලදායි සාකච්ජාවක් පවත්වා, සැබෑ ලෙසම මාදැල් කර්මාන්තයේ අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කිරීමට ගන්නා උත්සාහය පිළිබදව තමන් අතිශය සතුටට පත්වන බව මෙම සාකච්ඡාවට එක්වූ සමස්ථ ලංකා මාදැල් හිමියන්ගේ සමුපකාර සම්මේලනයේ නියෝජිතයන් අවධාරණය කළහ.