ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අයි.ඩි.එච් රෝහලේ ගැටලුවට විසඳුමක්

    ජූනි 15, 2017

    අයි.ඩි.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනය ඩෙංගු රෝගීන්ගෙන් පිරී පැවැතීම හේතුවෙන් මතුව ඇති ගැටලුව නිරාකරණය කිරීම සඳහා තලංගම, වෑතර සහ පිළියන්දල රෝහල්වලට මෙන්ම කොළඹ ජාතික රෝහලට, දකුණු කොළඹ ශික්ෂණ රෝහලට සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහල්වලට ඩෙංගු රෝගීන් ඇතුලු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය , පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

    එමෙන්ම කොළඹ උතුර සහ කොළඹ දකුණ ශික්ෂණ රෝහල්වල ඩෙංගු අධිසත්කාර ඒකක වැඩිදියුණු කිරිමට පියවර ගෙන ඇත.

    ඒ අනුව බස්නාහිර පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන තලංගම, පිළියන්දල සහ වෑතර යන ප්‍රාදේශීය රෝහල් අයි.ඩි.එචි. ජාතික බෝවන රෝග විද්‍යායතනයට සහ කොළඹ දකුණ ශික්ෂණ රෝහලට තාවකාලිකව අනුබද්ධ කර රෝගී සත්කාරක සේවා කළමණාකරණය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට අද (15) පෙරවරුවේ උපදෙස් ලබාදී ඇත.

    දැනට අයි.ඩි.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් 450 ක් පමණ ප්‍රතිකාර ලබති. එම රෝගීන්ගෙන් බහුතරය බස්නාහිර පළාතෙන් පිටත රෝගීන් වීම ද විශේෂත්වයකි.

    අයි.ඩි.එච් රෝහලට අනුබද්ධ කරන රෝහල් සඳහා ඇඳන් 200 ක් කඩිනමින් මිලදී ගැනීමට ද තීරණය කර ඇත. එම රෝහල්වලට අවශ්‍ය වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල කඩිනමින් අනුයුක්ත කිරීමට ද පියවර ගෙන ඇත. අයි.ඩි.එච් රෝහලේ තාවකාලික වැසිකිළි පද්ධතියක් පෞද්ගලික අංශයේ සහයෝගය මත ඉදිකිරීමට ද කටයුතු යොදා ඇත.

    මේ අතර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ද රෝගීන් වැඩිවීම හේතුවෙන් දැනට නවීකරණය කරමින් පවතින පස්මහල් ගොඩනැගිල්ලේ එක් මහලක් රෝගීන් ඇතුලු කිරිම සඳහා සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. තවද කොළඹ ජාතික රෝහලට, දකුණු කොළඹ ශික්ෂණ රෝහලට සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහල් වල ද ඩෙංගු ප්‍රතිකාර ඒකක ක්‍රියාත්මක වන බැවින් එම රෝහල්වලට ද රෝගීන්ට ඇතුලත් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටි.

    2017 වසරේ මේ වනවිට ඩෙංගු රොගීන් 62,000 ක් වාර්තා වී ඇත. අද (15) සහ හෙට (16) දෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ද ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ නිවාස පරීක්ෂා කිරිම සහ ධූමායන කටයුතු සිදු කිරීම දිස්ත්‍රික්ක 21 ක් පුරා අද (15) පෙරවරුවේ ආරම්භ විය. එහිදී දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වූයේ කසල බැහැර කිරීම විධිමත්ව සිදු නොවන බවයි. දරුවන් පාසල් වලට සහ නිවාසවල රැඳී සිටිය දී මදුරු විකාශක භාවිත කරන ලෙස ද, නිදා ගැනීමෙි දී මදුරු දැල් භාවිත කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටි.

    මේ අතර සෑම සිකුරාදා දිනයකම උදෑසන 9.30 සිට 10.30 දක්වා පැයක කාලය නිවාස, රාජ්‍ය ආයතන, සියලුම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ පැය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දී ඇත. එම කාලය තුළ නිවාස සහ රාජ්‍ය ආයතන පිරිසිදු කළ යුතු බවත්, ඒවා නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය කණ්ඩායම් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පැමිණෙන බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya