ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    හියුමන් පැපිලෝමා වෛරස එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට

    ජූලි 03, 2017
    ශ්‍රී ලංකාවේ ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හඳුන්වාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (03) සිදු කෙරිණි. 
     
    රෝග නිවාරණය සඳහා ප්‍රතිශක්තීකරණය ඉතාම වැදගත් බවත් 1978 වසරේ එඩ්වඩ් ජෙනට් මහතා විසින් ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ හඳුන්වා දූන් අතර 1886 වසරේ දී ශ්‍රී ලංකාවෙි වසූරිය රෝගය පැතිර ගිය අවස්ථාවේ දී බ්‍රිතාන්‍ය රජය එම එන්නත් ලබා දීම අනිවාර්යය කළ බවත් එන්නත් වැඩපිළිවෙළ මේ වනවිට සියයට 100 ක් සාර්ථකව සිදුවන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අවස්ථාවට එක්වෙමින් පැවසීය. 
     
    "වසර 30 ක් පැවැති යුධ වාතාවරණයේ දී එන්නත් වැඩපිළිවෙළ උතුරු නැගෙනහිර නිසි අයුරින් සිදූ කෙරුණා. අවසන් සටන පැවැති නන්දිකඩාල් කළපුවේ දී පැමිණි ජනතාව ද තම දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ කාඩිපත රැගෙන එනු ලැබුවා. එම නිසා ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළ පිළිබඳ ව වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල හොඳින් ජනතාව දැනුවත් කර තිබෙනවා"යැයි ද කීය.
     
    "පාර්ලිමේන්තුව විසින් ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය සම්මත කර තිබෙනවා. ගැබ්ගෙල පිළිකා එන්නත ලබාදීම ඓතිහාසික අවස්ථාවක්. සෞඛ්‍ය වාර්තාවලට අනුව වාර්ෂිකව කාන්තාවන් 850 ක් ගැබ්ගෙල පිළිකාවලට ගොදූරු වෙනවා. එය ඉදිරියේ දී තවත් වැඩිවෙන්න පුලුවන්. මෙම එන්නත වයස අවුරුදූ 10 සම්පුර්ණ වූ සියලු දැරියන්ට ලබාදෙන්න. මූල්‍ය අර්බුද ගැන හිතන්න එපා. රුපියල් ශතවලින් මැනලා ප්‍රතිශක්තීකරණය කරන්න බැහැ. සියලුම දැරියන්ට එම එන්නත ලබාදීමට පිළිබඳව ඇති හැකියාව ගැන වාර්තාවක් කඩිනමින් සකස් කරන්න" යැයි ද දැනුම් දුණි.
     
    "ඩෙංගු උවදූර ද විශාල ප්‍රශ්නයක්. ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරිම සඳහා ප්‍රංශය නව එන්නතක් සොයාගෙන තිබෙනවා. එය අත්හදා බැලුවත් ගැටලු තිබෙනවා. ප්‍රංශ තානාපතිවරයා මේ පිළිබඳව මා සමග කථා කළා. නිවැරදි එන්නතක් සොයා ගැනීමට තවත් කාලයක් ගත වෙයි" යැයි ද ප්‍රකාශ කළේය. 
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂවරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින් එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya