ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පාසල් මදුරු මර්දන වැඩසටහන හෙට සිට

    ජූලි 27, 2017

    මේ දිනවල රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින  ඩෙංගු රෝගය මර්දනය කිරීම අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි පාසල් මට්ටමින් වැඩසටහන් රාශියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. ඊට සමගාමීව හෙට (28) අනිද්දා (29)  සහ (30) ඉරිදා යන තෙදින තුළ දිවයිනේ සියලුම පාසල්වල ඩෙංගු මර්දනය ඉලක්ක කරගනිමින් පාසල් සහ අවට පරිසරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

    ඒ සම්බන්ධව විදුහල්පතිවරුන් ඇතුළු බලධාරීන් දැනුවත් කිරීම සඳහා අදාළ චක්‍රලේඛ ද නිකුත් කර තිබෙන බව අධ්‍යපාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව හෙට (28) දිනයේ පාසල්වල අධ්‍යයන කටයුතු නොපවත්වන ලෙසත්,  ඒ වෙනුවට එදින  දරුවන්, දෙමව්පියන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයින් සහ අසල්වාසීන් ඇතුලු පාසල් ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් සෞඛ්‍ය  අමාත්‍යාංශයේ ද සහාය ඇතිව පාසල හා අවට පරිශ්‍රය පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි.

    මෙදින පාසල් පැමිණෙන විට ශ්‍රමදාන කටයුතු සඳහා උචිත ආකාරයේ විනීත ඇඳුමකින් සැරසී දරුවන්ට පාසල වෙත පැමිණිමට අවස්ථාව හිමි වේ.

    මීට අමතරව (29) සෙනසුරාදා සහ (30) ඉරිදා දිනයන්හිදී ද සියලු දෙනාගේ දායකත්වය සහිතව මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් සිදු කෙරෙන  දුමායනය සහ අනෙකුත් මදුරු මර්දන කටයුතු සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් සහ සෙසු අංශ සම්බන්ධීකරණය කිරීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පවරා තිබේ.

    මීට අමතරව පාසල් නිවාඩු සමය තුළ දී පාසල්වල පවිත්‍රතාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ද පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව සෑම සතියකම ඉරිදා දිනයේ පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමටත්, තෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට පෙර දින පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් සියලුම විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ. මෙම සියලු කටයුතු නියාමනය කිරීමේ වගකීම පළාත් අධ්‍යාපන බලධාරීන්ට පවරා ඇත.

    තම ගෙවත්ත හා පාසල පවිත්‍රව තබා ගැනීමේ පුරුද්ද වැඩිහිටියන් විසින් දරුවන්ට කියා දියයුතු බවත්, එම ආකල්ප සංවර්ධනය කිරීම හරහා කැලි කසල බැහැර කිරීමේ කටයුතු කළමනාකරණය කිරීම, මැසි මදුරුවන් බෝවන ස්ථාන ඇති නොවීමට වගබලා ගැනීම ආදී කරුණු සඳහා දරුවන් හුරු කරවිම සැමගේ වගකීමක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ ය.

    එසේම මෙම සියලු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී මෙවර අ.පො.ස. (උ.පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන විභාග මධ්‍යස්ථානවල කටයුතුවලට කිසිදු ආකාරයක බාධාවක් හෝ බලපෑමක් ඇති නොවන අයුරින් අදාළ පවිත්‍රතා වැඩසටහන් සිදු කරන ලෙස ද  අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya