ඒ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අද පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී ය.
රෝහල්වලට වෛද්‍යවරුන් බෙදී යාමේ විෂමතාවයක් දක්නට ලැබෙන බව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන් පෙන්වා දුන් අතර, ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් සමග අනුමත සංඛ්‍යාවටත් වඩා වෛද්‍යවරුන් නොමැති වීම නිසා ශල්‍යාගාර සේවා පවත්වාගෙන යාමේ ගැටලු මතුව ඇති බව ඔවුන් සඳහන් කළහ.
ඒ පිළිබඳ අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ වෛද්‍යවරුන් බෙදීයාමේ විෂමතාවය අවසන් කිරිම සඳහා සියලු ම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන් සමග ඒකාබද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රෝහල් පුරප්පාඩු ලේඛනයක් සකස් කර එම විෂමතාවය අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දෙන ලදි.
තව ද දිවයිනේ සියලු ම රෝහල්වලට අවශ්‍ය වෛද්‍යවරුන් ලබාදෙන ලෙසත් කිසිදු රෝහලක් වසා නොතබන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි. පැය 24 පුරා ක්‍රියාත්මක රෝහල් සඳහා අවම වශයෙන් වෛද්‍යවරුන් දෙදෙනෙකුවත් සිටිය යුතු බව මෙහිදී පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන් පෙන්වා දුන් අතර, ඒ සඳහා ද පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දෙන ලදි. තව ද පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛනය සකස් කිරීමේ දී එක් එක් පුද්ගලයින්ට අවශ්‍ය පරිදි ලේඛන සකස් නොකරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී දැනුම් දෙන ලදි. පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛනයෙන් රෝහල්වලට වෛද්‍යවරුන් ලබාදීමේ දී නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දුන්නේය. පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් 1200 ක් ලබන නොවැම්බර් මස ලබාදීමට නියමිතය.
මේ අතර වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලබන මාසික දුරකතන දීමනාව රුපියල් 4000 සිට 2500 දක්වා අවම කර ඇති බව මෙහිදී අනාවරණය විය. ඒ පිළිබඳ අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍යවරුන්ගේ දුරකතන දීමනාව පිළිබඳ ව මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.
උතුරු මැද පළාතේ වකුගඩු රෝගී පරීක්ෂණ නතර වී ඇති බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා පිළිබඳ ව කරුණු දැක් වූ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා සඳහන් කළේ එම පරීක්ෂණ නතර වී ඇත්තේ වෛද්‍ය රසායනාගාර ශිල්පීන්ට මුදල් නොගෙවීම හේතුවෙන් බවයි. මාස 08 ක කාලයක් එම මුදල් නොලැබී තිබුණි. මේ පිළිබඳ ව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු අදාල මුදල ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දී ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සඳහන් කළේය. එම මුදල් වෛද්‍ය රසායනාගාර ශිල්පීන්ට කඩිනමින් ගෙවීමට පියවර ගන්නා බව ද උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා අවධාරණය කර සිටියේය.
දිවයින පුරා රෝහල්වල අක්ෂි ශල්‍යකර්ම සඳහා හිඟයකින් තොරව අක්ෂි කාච සැපයීම සිදු වන බව පළාත් සෞඛ්‍ය බලධාරීන් මෙහිදී ප්‍රකාශ කළහ. අක්ෂි කාච නොලැබුන රෝහල්වලට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් රුපියල් මිලියන 135 ක අක්ෂි කාච ලබාදී ඇති බව එහි කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා සඳහන් කළේය.
මෙම සමුළුවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරුන්, අධ්යක්ෂවරුන්, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.