ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පියයුරු පිළිකා මාසය වෙනුවෙන් පුහුණු කිරීමේ ආදර්ශක බෙදාදෙයි

    ඔක්තෝබර් 25, 2017
    ලෝක පියයුරු පිළිකාව පිළිබඳ ව දැනුම්වත්වීමේ මාසයේ සැමරුම් උළෙල හා ස්වයං පියයුරු පරීක්ෂාව පිළිබඳව පුහුණු කිරීමේ ආදර්ශක බෙදාදීම ඊයේ (24) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසීම් මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි.
     
    ඒ අනුව මෙහිදී මුළු දිවයිනම ආවරණය වන පරිදි ස්වයං පියයුරු පරීක්ෂාව පිළබඳ පුහුණු කිරීමේ ආදර්ශක 50ක් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල හා හෙද පුහුණු පාසල් වෙත පිරිනැමීම සිදු කෙරිණි. මෙම උපකරණ ජාතික පිළිකා මර්දන වැඩසටහන වෙතින් ලබාදීම සිදුවුණි.
     
    ජාතික වශයෙන්  මෙන් ම අන්තර්ජාතික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් දිනයන් ප්‍රකාශයට පත් කර තිබුණ ද පියයුරු පිළිකා පිළිබඳ ව දැනුම්වත්වීම සඳහා මාසයක කාලයක් වෙන් කොට ඇත්තේ එහි ඇති අතිශය වැදගත් කම නිසාවෙන් බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙහිදී පැවසීය.
     
    මූලික අදියරේ දී ආකෘති 50ක් ලබාදීමට කටයුතු කරන අතර ම ලබන වසරේ දී සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක් සඳහා ම මෙම උපකරණ ලබාදීමට කටයුතු කරන බවත් පියයුරු පිළිකා කලින් හඳුනාගැනීම තුළින් සුවකරගත හැකි රෝගයක් බවත් බොහෝ විට ශ්‍රී ලංකාවේ කාන්තාවන් මෙම රෝග තත්ත්වයෙන් පෙළෙන බව වාර්තාවන්නේ අවසන් අදියරයන්වලදී බවත් පෙන්වා දුන්නේය.
     
    වාර්ෂිකව බිලියන 3කට අධික මුදලක් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් අයවැය හරහා වෙන්කරන බවත් පසුගිය කාලයේ දී පිළිකා රෝගියෙකු වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා ලක්ෂ 15ක මුදලක් පමණක් වෙන් කළ ද අද වන විට එය සීමා රහිත කොට ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය කාසීම් මහතා පැවසීය.
     
    පසුගිය කාලයට වඩා අති විශාල මුදලක් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙන් කරන අතර ම මේ වන විට පළාතකට එක බැගින් වශයෙන් පිිළිකා රෝහල් ක්‍රියාත්මක වන බවත් පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා මූලික අදියරේ දී හඳුනාගැනීම තුළින් සුවකර ගැනීමට අවස්ථාව ඇති අතර ම වැය කළ යුත්තේ ද අඩු වියදමක් බවත් වැඩිදුරටත් පෙන්වා දුනි.
     
    මෙම අවස්ථාවට ජාතික පිළිකා මර්දන ඒකකයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya