ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ''ගම දකින විදුනෙත''- ග්‍රාම නිලධාරීන්ට ටැබ් යන්ත්‍ර

    මාර්තු 14, 2018

    නොදියුණු සමාජයක පුරවැසියන්ට නව තාක්ෂණය ඔස්සේ භාෂණයේ හා ප්‍රකාශනයේ උපරිම නිදහස ලබා දීමේ හානිය අද රටක් ලෙස අපට අත්විදින්න සිදුවෙලා තියෙනවා. මේ නිදහස වල් බූරු නිදහසක් බවට පත්කර ගැනීම නිසා සමාජය විනාශය කරා ගමන් කරමින් තිබෙනවා.  යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී කීවේය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීන් සඳහා ටැබ් යන්ත්‍ර ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. ''ගම දකින විදුනෙත'' යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ සියලුම ග්‍රාම නිලධාරීන්වෙත ටැබ් යන්ත්‍ර ලබා දී ඔවුන්ගේ සේවාවන් 23 ජනතාව වෙත විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ලබා දීමට රජය සැළසුම් කර ඇත. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.


    මෙම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ ද කීවේය.

    අපි මාධ්‍ය නිදහස ඇති කළා. තාක්ෂණය ඔස්සේ ලබා ගන්නා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ස්ථාපිත කළා. නමුත් මේ සමාජය දියුණු නැහැ. නොදියුණු සමාජයකට මේ නිදහස ලබාදෙන විට එය පාලනය කරන්නේ නැතින්ම මෙය වල්බූරු නිදහසක් බවට පත්වෙලා සමාජය විනාශය කරා යනවා. අද මේ වනවිට අපි ඒ බව හොඳින් අත්විඳිමින් ඉන්නවා. වඳ බෙහෙත් කතා, හාමුදුරුවරු ඝාතනය කරපු කතා ඔක්කොම ප්‍රචාරය කළේ මේ වල්බූරු නිදහස භාවිතා කරලා.

    ඒවා සියල්ල අසත්‍ය ප්‍රචාාර. නමුත් ඒවා පාලනය නොකිරීම නිසා සමාජය විනාශයට ගියා. රජයට දැන් සිදුව තිබෙනවා මෙය පාලනය කරන්න. මේ දේවල් පාලනය කරන්න බැරිනම් අපිට සමාජයේ විනාශය වළක්වන්න බැරි වෙනවා.

    අපි දන්නවා දවසකට රජයේ නිලධාරීන්ට එරෙහිව කැලෑ පත්තර කොතරම් ප්‍රමාණයක් එනවා ද ? මේ නිදහසත් ඒ වගේ කැලෑ පත්තරවලටත් වඩා අන්තයි. නරකයි. යමක් යම් කෙනෙකු ප්‍රකාශයට පත්කරනවා නම් ඒ තැනැත්තා එහි වගකීම ගන්න ඕනෑ. පත්තරයක් ගහනවානම් පත්තරේ අන්තිම පිටුවේ මේ පත්තරය අහවල් තැන පිහිටි මුද්‍රණාලයේ මුද්‍රණය කර අහවලා විසින් ප්‍රකාශයට පත්කරන ලදී කියා සඳහන් කරන්නේ මේ වගකීම තිබිය යුතු නිසා. නමුත් අපේ නොදියුණු සමාජයට මේ තාක්ෂණය ලැබීමේ ප්‍රතිඵලය වුණේ කිසිම වගකීමක් දරන්නේ නැති පුද්ගලයන් විසින් බොරු ප්‍රචාරය කිරීම. ගිංතොට සිදුවූ සිදුවීමේ දී කලින් කොටි ත්‍රස්තවාදීන් විසින් පුපුරුවා හරින ලද බෝම්බවලින් මියගිය අයගේ සිරුරු සහිතව ගිංතොට සිංහල අය ඝාතනය කරලා කියා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගෙන ගියා. මේවා පාලනය කළ යුතුයි. ජර්මනිය, කැනඩාව, චීනය වගේ දියුණු රටවල පවා මේවා පාලනය කරනවා. 

    අද අපි ග්‍රාම නිලධාරීන්ට ටැබ් යන්ත්‍ර ලබා දෙන්නේ තමන්ගේ රාජකාරිය විද්‍යුත් ක්‍රමයට වඩාත් කාර්යක්ෂමව සිදුකරන්න. අපේ ගමේ ජනතාවට ග්‍රාම නිලධාරී හමුවෙලා ඒ සේවාවන් කඩිනමින් ලබාගන්න. ඒ වගේ ම මේ සේවාව ජාලගත කිරීමෙන් වඩාත් සාර්ථක හා කඩිනම් සේවාවක් බවට පත්කරන්න හැකියාව ලැබෙනවා. සමාජයට ලැබී ඇති නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගත්තත් වැරදි දේවල් කරත් අපිට මේ තාක්ෂණය ගමට ගෙන යාම වළක්වන්න බැහැ.

    ඒ වෙත මේ සමාජය යොමු කළ යුතුයි. අපේ ග්‍රාම නිලධාරීන්ට රටේ සියලුම අමාත්‍යාංශවලට අදාල රාජකාරී ගමේ සිදුකරන්න තිබෙනවා. ඉතින් එවැනි අවස්ථාවක දී මේ නව තාක්ෂණය භාවිතයෙන් වැඩ කිරීම වඩාත් පහසුවක් වෙනවා.

    මෙම වැඩසටහන සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය මහතාත්, ගාල්ල දිසාපති එස්.ටී.කොඩිකාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් ද සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya